අර්ධ සූර්යග්‍රහණයක් අද (25) සවස ශ්‍රී ලංකාවට දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යඛ්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.
වායු ගෝලයේ ඇති වූ කැළඹිලි තත්වය හේතුවෙන් දින ගණනාවක් අහස වැසි වළාකුළින් බරව තිබූ බැවින් සූර්යයා ශ්‍රී ලංකාවට නිසි පරිදි දිස්වූයේ නැත. අද එම වැසි සහිත කාලගුණික තත්වය පහව යන බැවින් සූර්යාය හොඳින් දර්ශනය වනු ඇතැයි ද අනුමාන කෙරේ.
අද ඇතිවන සූර්යග්‍රහණය ආසියාවේ බටහිර ප්‍රදේශයට, උතුරු අප්‍රිකාවට, මැද පෙරදිග රටවලට හොඳින් දිස්වන බව ද මහාචාර්ය ජයරත්න කීවේය.
එය යාපනයට හොඳින් ම දිස්වන බව ද හෙතෙම පවසයි. එය 2022 වර්ෂයේ සිදුවන අවසන් සූර්යග්‍රහණයයි.
මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“මෙම සූර්යග්‍රහණය ලෝකයේ රටවල් ගණනාවකට පූර්ණ සූර්යග්‍රහණක් ලෙස දිස්වනවා. එය ශ්‍රී ලංකාවට පෙනෙන්නේ අර්ධ සූර්යග්‍රහණයක් විදියට. ඒ වගේ ම එය රටේ සෑම ප්‍රදේශයකට ම පේන්නේ නැහැ. කොළඹ නගරය අවට සිර යාපනය දක්වා ප්‍රදේශයට මෙය දැකිය හැකියි. අනුරාධපුරය, වව්නියාව සිට යාපනය දක්වා ප්‍රදේශයේ ජනතාවට මෙය හොඳින් දකින්න පුළුවන්. අද සවස 5.27ට යාපනය ප්‍රදේශයේ දී සූර්යග්‍රහණයේ ආරම්භය දැකිය හැකියි. විනාඩි 22ක පමණ කාලයක් මෙය පවීවි. එහි උපරිම අවස්ථාව දකින්න ලැබෙන්නේ සවස 5.46ට. කොළඹ නගරයට එය පෙනෙන්නේ විනාඩි 09ක් වැනි කෙටි කාලයක් පමණයි.”