ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ගිණුමෙන් රුපියල් 23 ලක්ෂයකට වැඩි මුදලක් වංචාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමටත් වැඩිදුර විභාගය එළඹෙන මාර්තු මස 02 වැනි දින කැඳවීමටත් ගාල්ල ප්‍රාධාන මහේන්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද (20) නියෝග කළාය.
මහින්ද විද්‍යාලයේ වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන වසර 07ක තම නිල කාලයේ අවසන් වසරක පමණ කාලයේ දී කූඨ ලේඛන සකස් කරමින් ව්‍යාජ චෙක්පත් ලියා ඇති බවට චෝදනා එල්ලවිය. ඒ අනුව ඔහු ඇතුළු සැකකරුවන් තිදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ. ඔවුන් කරන ලද මූල්‍ය වංචාවර රුපියල් 2,356,000.00 ක් ලෙස සඳහන් කර ඇත.
වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධනට අමතරව පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ උදානි ප්‍රියංකා සහ පාසලේ ලිපිකාරිනියක වූ හෂිනි අලහකෝන් දෙදෙනා ද මෙම චෝදනාවේ සැකකරුවන් ලෙස නම්කර ඇත.
මෙම සැකකරුවන් තිදෙනාගේ අත්සන් සහ අත් අකුරු පරීක්ෂා කිරීමට මීට පෙර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවා තිබුණු අතර පැමිණිල්ල මෙහෙයවූ පොලිස් පරීක්ෂක උදයකාන්ත කියා සිටියේ ලැබී ඇති වාර්තාව අනුව චෙක්පත් සහ ඊට අදාල ගෙවීම් පත්‍රවල සඳහන් අත්අකුරු විදුහල්පතිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනාගේ බවට තහවරු වී ඇති බවයි.
මෙහි දී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසීමට තීරණය කළ අතර වැඩිදුර විභාගය මාර්තු මස 02 වැනි දිනට කල් තැබිණි.
පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නීතිඥ ඒ.ඩී.සී.දර්ශන සහ රජින්ද්‍ර නාරංගොඩ පෙනී සිටි අතර විත්තකරුවන් වෙනුවෙන් අජිත් කුමාර, ප්‍රශන්ත සිල්වා සහ දසුන් මාවඩවිල යන නීතිඥවරු පෙනී සිටියහ.