නරි කරදරය නිසා ගම්වැසියන්ට විශාල දුෂ්කරතා අත්විඳින්නේ යැයි යන්න මේ දිනවල ප්‍රකට කරුණකි. නරියා යනු සිංහල ගැමි සමාජයේ ඇති කතාන්තර බොහොමයකට පසුබිම් වූ සත්ත්වයෙකි. කපටි රජායැයි නම් ලැබූ නරියා ඒ නිසාම සිංහල ජන සමාජය තුළ බහුලව කතාවට ලක්වන සත්ත්වයෙකි.
දැන් නරි ගම්වැදී මිනිසුන් හපා කන තත්ත්වයට පත්ව ඇතැයි පැවසේ. එසේ වුව ද ශ්‍රි ලංකාවේ කිසිම දිනක නරි නැත. ඔබ ඒ කතාව ඇසූ විට පුදුමයට පත්වනු ඇත. ඇතැම් දිනවල මහා රාත්‍රියේ ගම්බද පෙදෙස් වලින් නැගෙන හූ හඬ නරියාගේ නොවේ ඒ හිවලුන්ගේ ය.
නරියා යන වචනය සිංහල වචනයක් නොවේ. එය තෙළිඟු නමකි. තෙළිඟු භාෂාවෙන් වචන රැසක් සිංහල භාෂාවට එක්වී ඇති බැවින් මේ වචනය ද සිංහල ව්‍යවහාරයට එකතු වන්නට ඇත.
නරියා ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ FOX නමිනි.
මධ්‍යම ප්‍රමාණයේ සිරුරකට හිමිකම් කියන නරියා සර්ව භක්ෂක ක්ෂීරපායී සතෙකි. සත්ත්ව විද්‍යාත්මකව කැනීඩා පවුලට අයිතිවන මොවුන්ට තරමක් පැතලි හිස්කබලක් ඇති අතර සෘජුව පිහිටන තිකෝණාකාර කන් ඉතා පැහැදිලිව දක්නට ලැබෙයි. එමෙන්ම ලෝමවලින් ගැවසී ගත් දිගැති වලිගය ද මේ කඩිසර සත්ත්වයාට ගෙන එන්නේ අපූරු අලංකාරයකි.
සත්ත්ව විද්‍යාත්මකව සත්ත්ව ඝන හතක් යටතේ නරි විශේෂ 25ක් ලෝකයේ හඳුනාගෙන ඇතත් දැන් ඉන් එක් විශේෂයක් සම්පූර්ණයෙන්ම මේ ලෝකයෙන් තුරන්ව ගොසිනි. ඒ අනුව නරි අයිති වූ එක් සත්ත්ව ඝනයක් ද ලෝකයට අහිමිවී ඇත. පිළිගත් නරි උප විශේෂ 47ක් ද සහිතව ඔවුන් ලෝකයේ ඇන්ටාක්ටිකාව හැර අන් සියලු මහද්වීපවල විසිරී සිටින බව සත්ත්ව විද්‍යාඥයන් පවසයි.
එසේ වුව ද ඉංග්‍රීසි බසින් Fox ලෙස හඳුන්වවන මේ සත්ත්වයන්ගේ කිසිම විශේෂයක් හෝ උප විශේෂයක් දූපතක් ලෙස පවතින ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන්නේ නැත. ඒ අනුව අප රටෙහි නරි නැත.
සත්ත්ව විද්‍යාඥයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ වනාන්තර හා වන ලැහැබවල සැගවී සිට රාත්‍රී කාලයේ හූ හඩ තබන සත්ත්වයා හිවලා බවයි.
මේ සතාත් නරියාට රූපයෙන් හැසිරීමෙන් හා ආහාර රටාවෙන් පවා ඉතා සමීප බවක් පෙන්වයි.
හිවලා ඉංග්‍රීසි භාෂාවෙන් Golden Jackal හෙවත් රන් හිවලා ලෙස හඳුන්වන අතර සත්ත්ව විද්‍යාත්මකව Canis aureus යනුවෙන් හඳුන්වයි. මේ තනි විශේෂයේ උප විශේෂ හතක් ලෝකය පුරා වාර්තා වී ඇත. .
ඉන් එක් උප විශේෂයක් හඳුන්වන්නේ Sri Lankan Jackal යනුවෙන්. නමුක් මොවුන් ශ්‍රී ලංකාවට ආවේනික උප විශේෂයක් නොවේ.
1916 දී මේ උප විශේෂය සත්ත්ව විද්‍යාත්මකව ලෝකයට හඳුන්වා දී තිබෙන්නේ ඉන්දියාවේ වන සංරක්ෂණ නිලධාරියකු ලෙස 1871 සිට 1904 දක්වා සේවය කළ Robert Charls Wroughton විසිනි. ඔහු තම පර්යේෂණ අනුව ඊසාන දිග ඉන්දියාවේ Canis aureus naria නමැති උප විශේෂයක් සිටින බවත් ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ Canis aureus lankei නමැති උප විශේෂයක් සිටින බවත් ලෝකයට අනාවරණය කර තිබිණි.
නමුත් පසුකාලීනව මේ සතුන් උප විශේෂ දෙකක් නොව තනි උප විශේෂයක් බව නැවත විද්‍යාඥයන් විසින් තහවුරු කරන ලදී. පසුව කරන ලද එම පර්යේෂණ අනුව ඊසාන දිග ඉන්දියාවෙත් ශ්‍රී ලංකාවේත් දක්නට ලැබෙන රන් හිවලාගේ උප විශේෂය සත්ත්ව විද්‍යාත්මකව Canis aureus naria ලෙසත් ඉංග්‍රීසි භාෂාවෙන් Sri Lanka Jackal කියලත් හඳුන්වා දී ඇත.
ලංකාවේ මීට අමතරව තවත් හිවල් උප විශේෂයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ, පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ, තුර්කිස්ථානයේ, ඉරානයේ ඇතුළු මැදපෙරදිග ප්‍රදේශ කිහිපයක දක්නට ඔවුන් Canis aureus aureus ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වයි.
එම සත්ත්ව විශේෂය මුලින්ම හඳුනාගෙන ඇත්තේ සත්ත්ව වර්ගීකරණය ලෝකයට හඳුන්වාදුන් කාල් ලීනියස් විසින් 1758 වර්ෂයේ දී ය.
හිවලාගේ නළල නරියාගේ තරම් කැපී පෙනෙන්නේ නැත. නරින්ට වඩා පටු හා වඩාත් උල්වූ හොම්බක් හිවලා සතුව තිබේ. මොවුන්ගේ පාද නරියාට වඩා තරමක් කෙටියි. එමෙන්ම වල්ගයත් කෙටියි.
කසේ වෙතත් රන් හිවලාගේ ආදිතමයෙක් මීට වසර ලක්ෂ 19කට පෙර මධ්‍යධරීණීය යුරෝපා ප්‍රදේශවල ජීවත් වී වඳවී ගිය බවට විශ්වාස තිබේ. ගංගා බල්ලා යැයි හඳුන්වන මේ සත්ත්වයා හිවලකු වැනි බල්ලෙකු යැයි ද විද්‍යාඥයන්ගේ මතයයි.
අදින් වසර 20,000කට පෙර අවසන් අයිස් යුගයේ දී ඉන්දියාවේ සිට රන් හිවලුන් ව්‍යාප්ත වූ බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. දැනට හමුවි තිබෙන පැරණිතම රන් හිවල් පොසිලය ලැබුණේ ලෙබනනයේ බේරූට් අසළ ප්‍රදේශයකිනි. එය වසර 7,600ක් පැරණි බවට කාල නිර්ණය කර තිබේ.
ඉංග්‍රීසියෙන් Fox යනුවෙන් හඳුන්වන සතාට කිව යුතු නම ‘නරියා’ යන්නයි.
ඉංග්‍රීසියෙන් Jackal කියා හඳුන්වන සතුන්ට කිව යුතු නම ‘හිවලා’ යන්නයි. ඉංග්‍රීසි බස අනුව ශ්‍රී ලංකාවේ නරි නැත.
නමුත් අපේ රටේ ඉන්න Jackal උප විශේෂ දෙකෙන් එක් උප විශේෂයක් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන්නේ Canis aureus naria ලෙසිනි. සත්ත්ව විද්‍යාත්මක නමටත්, අපේ ජන සමාජයටත් ‘නරියා’ යන වදන ලැබී ඇත්තේ තෙළිඟු බසිනි. එසේනම් ශ්‍රී ලංකාවේ හිවලුන්ට අපේ ජන සමාජයේ පවසන්නේ සැබැවින් ම සත්ත්ව විද්‍යාත්මකව උප විශේෂයේ නමයි. මෙහි ද වරදක් නැත.
ඇතැමුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ නරි නොමැති බවයි. තවත් පිරිසක් මෙරට නරි සහ හිවලා යන සත්ත්ව කොට්ඨාස දෙකම දක්නට ලැබෙන බව කියති.
රාත්‍රියේ ඇසෙන හූ හඩ (නරි හෝ හිවලා) අසුබ පෙරනිමිත්තක් කියල තමයි ගැමියන්ගේ මතය විය. .
දැන් හිවලාගේ ශබ්දය නොව හිවලකු ගමක දැකීමත් බිය උපදවන කරුණක් වී තිබේ.
මේ ගැන නිවැරදි තොරතුරු මෙරට මාධ්‍ය මගින් ද සමාජගත කරන්නේ නැත. කිසිම මාධ්‍යයක නරි ශ්‍රී ලංකාවේ නැතැයි කියන්නේ නැත. ඉන්නේ හිවලුන් බව කියන්නේ නැත. හිවලකු ගම් වැදී මිනිසුන් සපා කෑ විට නරි පිට වරද පටවන මාධ්‍යය ද නරියා සහ හිවලාගේ වෙනස දන්නේ නැත.