බලපිටියට වන ජීවී උප කාර්යාලයක් එයි

0
262

රම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මාදුගඟ පාරිසරික පද්ධතිය රැකගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ උප කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා කියා සිටියේය. මේ අතර මාදු ගඟේ බෝට්ටු ධාවනය නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් සකසන බව ද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා (30) හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමක දී බලපිටිය ප්‍රාදේශීය ලේකම් බී.පී.එස්.අනුරාධි මහත්මිය සහ බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් කරන ලද ඉල්ලීම් සැළකිල්ලට ගනිමිනි.

බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එන්. සමන් ද සිල්වා මහතා මෙසේ කීවේය.

“ මාදු ගඟ ආරක්ෂා කරන්න නම් බෝට්ටුවලට නියාමනයක් තියෙන්න ඔ්නෑ. දවසකට එක බෝට්ටුවක් රුපියල් ලක්ෂයක් විතර ආදායමක් ගන්නවා. නමුත් ඒවාට නියාමනයක් නැහැ. අපි සභාවේ යෝජනාවක් සම්මත කරලා බෝට්ටු නියාමනය කරන්න වැඩපිළිවෙලක් සකස් කළා. වනජීවී එකෙන් කියනවා අපිට එහෙම නියාමනය කරන්න අයිතියක් නැහැ කියලා. නීතිපති කාර්යාලයේ උපදෙස් වගයක් අපිට එව්වා. අපිට ප්‍රාදේශීය සභාව විදියට බෝට්ටු නියාමය කරන්න දෙන්නේ නැත්නම් වනජීවී එකෙන් හරි ඒක කරන්න. අපි ඉල්ලන්නේ මාදු ගඟ කියන වටිනා පාරිසර පද්ධතිය රැකගන්න කියලා.”

මෙහි දී අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් බී.පී.එස්.අනුරාධි මහත්මිය මෙසේ කීවාය.

“ මාදු ගඟේ ගැටලු ගොඩක් තිබෙනවා. මේවා පාලනය කරන්න අවශ්‍යයි. අනවසර ඉදිකිරීම් තිබෙනවා. පරිසර පද්ධති විනාශ කරනවා. ඒ ගැන වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දීලා ඔවුන් ක්‍රියාත්මක වෙනවිට විනාශය වෙලා ඉවරයි. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා වනජීවී දෙපාර්තමේන්තුවේ උප කාර්යාලයක් හෝ මාදු ගඟ ආසන්නයේ ස්ථාපිත කරන්න කියලා.”

මේ සඳහා අවශ්‍ය කාර්යාල ඉඩ පහසුකම් සපයා දීමට හැකි බව ද ප්‍රාදේශීය ලේකම්වරයා මෙන් ම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද කියා සිටියේය.

මෙහි දී අදහස් දැක්වූ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා මෙසේ කීවේය.

“මාදු ගඟේ බෝට්ටු නියාමනය කිරීම සඳහා අමාත්‍යාංශය මගින් වැඩ පිළිවෙලක් සකස් කර තිබුණත් එය නිසි පරිදි ක්‍රියාත්ක වුණේ නැහැ. මේ නියාමන කටයුතු පළාත් විෂයක් නොවන නිසා ප්‍රාදේශීය සභාව එය සිදුකිරීමේ දී යම් යම් නීතිමය ප්‍රශ්න ඇතිවනවා. ඒ නිසා ඉදිරියේ දී මේ ගැටලු විසඳමු.”

අමාත්‍ය සී.බී.රත්නායක මහතා කියා සිටියේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස උපකාර්යාලයක් ඉක්ණින් ස්ථාපිත කර පසුව බෝට්ටු ධාවනය නියාමනය කිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ ද නියෝජනයක් සහිත කමිටුවක් පත්කර තීරණයක් ගත යුතු බවයි. එහි දී ප්‍රාදේශීය සභාවට ද ආදායමක් ලැබෙන පරිදි එම නියාමනය සිදුකිරීමට හැකි බව ද අමාත්‍යවරයා කීවේය.

මෙම රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, පළාත් පාලන ආයතන කහීපයක සභාපතිවරු, ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here