ගාල්ල වක්වැල්ලේ දී ගිං ගඟ සහ හෝළුවාගොඩ ඇල එක්වන තැන පිහිටි සොරොව්වට ඇද වැටීමෙන් තරුණකු මියගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගිනිමැල්ලගහ පදිංචි තරුෂික ජනාධි පණ්ඩිත නමැති 23 හැවිරිදි තරුණයෙකි. ඊයේ (21) රාත්‍රී 12.00ට පමණ ගාල්ලේ සිට නිවස බලා යමින් සිටිය දී ඔහු පැදවූ යතුරු පැදිය මෙම සොරොව්වේ ආරක්ෂක වැටේ ගැටීමන් අනතුර සිදුව ඇත. අනතුරත් සමඟ ඔහු එම අවස්ථාවේ එතැනින් ජලයට වැටී ඇති බව පොලිසිය කියයි.
මාර්ගයේ ගමන් කළ පුද්ගලයකු මෙම ස්ථානයේ අනතුරක් සිදුව ඇති බව දැක ඒ පිළිබඳ සොයා බැලීමේ දී මෙම තරුණයා ජලයේ ගිලෙමින් සිටින බව දැක කෑ ගසමින් උදව් ඉල්ලා ඔහු ගොඩට ගෙන ඇත. ඒ වනවිට අනතුර සිදුවී පැය භාගයක් පමණ ගතවන්නට ඇතැයි පොලිසිය පවසයි.
තරුණයා කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන්න ද පැය කිහිපයකට පසු අද (22) උදෑසන මියගියේය.
රැකියාවක් සඳහා විදේශගත වීමට සූදානමින් සිටි මෙම තරුණයාගේ උපන්දිනය ද පසුගිය සැපැත්ම්බර් 20 වැනි දාට යෙදී තිබිණි.
මේ සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (22) සවස කරාපිටිය රෝහලේ දී ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්සේන ලොකුගේ මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් පොද්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
