තම මෝටර් රථයේ සවිකර ඇති නලාව “කපුටු කාක් කාක්” රිද්මයෙන් නාද කළා යැයි චෝදනා එල්ලකරමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද නීතිඥයකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්.එම්.ප්‍රභාකරන් අද (14) නියෝග කළේය.
මෙලෙස නිදහස් කරන ලද්දේ දුෂ්මන්ත වීරරත්න නමැති නීතිඥයෙකි. ඔහු නිදහස් කරමින් විශේෂ ප්‍රකාශයක් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා කිසියම් පුද්ගලයකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමක දී නිසි පරිදි නීතිය අධ්‍යයනය කරන ලෙස ද පොලිසියට තරයේ අවවාද කළේය.
අරගලයේ දී දිවි අහිමි වූ පුද්ගලයන් සිහිපත් කරමින් ගාලු මුවදොර පැවති සැමරුමක දී ඔහු මෙලෙස නලාව නාද කළා යැයි පොලිසිය චෝදනා ගොනුකර තිබිණි.
එම නීතිඥවරයා අදාල අවස්ථාවේ දී සිය රථයේ නළාව ශබ්ද කර ඇත්තේ අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් පොලිසිය ක්‍රියාත්මක කරන අයුතු සහගත ක්‍රියාදාමයට විරෝධය පෑම සඳහා බවත් එලෙස රටේ ජනතාවට රජයකට එරෙහිව විරෝධය දැක්වීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර ඇති බවත් පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් , ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඇතුළු නීතිඥවරු අධිකරණයට කරුණු දැක්වූහ.
පොලිසිය එම නීතිඥවරයාට එරෙහිව නළා හඬවා බාධා කළේ යැයි චෝදනා කරමින් නඩු පැවරීම ජනඝෝෂා නඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කර ඇති ජනතාවගේ මුලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කිරීමක් යැයි ද නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.