අවුරුදු 07ක දැරියකට අමානුෂික ලෙස පහර දී ඇය මියගියා යැයි සිතා සිරුර පොහොර කවරයක ඔතා අතහැර දැමූ පතල් වළකට දැමීමේ සිද්ධියක් රත්නපුර දිස්ත්රික්කයේ දෙවල්වල පොලිස් බල ප්රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ මැල්සිරිපුර පාසලක දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි වර්ණකුලසූරිය මුදලිගේ හංසිකා හර්ෂණී කුමාරි නමැති දැරියයි.
මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් දෙල්වල පොලිසිය රත්නපුර අධිකරණයට කරුණු වාාර්තාකිරීමෙන් පසු මළ සිරුර ඉදිරි දිනයක දී ගොඩ ගැනීමට නියමිතය.
ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව (29) සහ තවත් කාන්තාවක් (31) දෙල්වල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් 31 හැවිරිදි කාන්තාව ගැබිනියකි.
ඔවුන් දෙදෙනාට අමතරව අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය කියයි. ඔවුන් ප්රදේශයෙන් පලා ගොස් ඇති බවත් එම දෙදෙනා සහ දැරියගේ මවත් අත්අඩංගුවට ගත් කාන්තාවත් එකම නිවසක වාසය කර ඇති බව ද පොලිසිය කියයි.
පලාගොස් ඇති පිරිමි පුද්ගලයා මෙම ඝාතනයේ පළලමු සැකකරු බවත් ඔහු යුද හමුදාවෙන් පළා ආ අයකු ලෙස හඳුනාගෙන ඇති බවත් ඔහු කාන්තාවන් තිදෙනාම අඹුකමට රැගෙන සිටි බවට තොරතුරු ඇතැයි ද පොලිසිය පවසයි.
මියගිය දැරියගේ මව මැල්සිරිපුර පදිංචිකාරියකි. ඇය පසුගිය ජූලි මාසයේ දී මැල්සිරිපුර පොලිසියට ගොස් තම දියණිය දෙල්වල ප්රදේශයේ දී අතුරුදන්ව ඇති බවත් කැලණිය ප්රදේශයේ සිටින පුද්ගලයකු ඇය රැගෙන ගිය බවට සැකයක් පවතින බවත් කියමින් පැමිණිල්ලක් ද ගොනුකර තිබිණි.
මැල්සිරිපුර පොලිසිය මේ බව දෙල්වල පොලිසියට දැනුම් දීමෙන් පසු ඝාතනය සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත.
මේ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව පොලිසියට කරන ලද පාපොච්චාරණයකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. දැරියගේ සිරුර දැමීමෙන් අනතුරුව වසා දමා ඇති පැරණි පතලට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර අධිකරණ නියෝගයෙන් පසු සිරුර ගොඩ ගැනීමට නියමිත ය.