චීනයෙන් ගෙන්වන ලදැයි පවසමින් පොහොර නැවකට ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 69ක් ගෙවා ඇතත් එවැනි නැවක පොහොර තිබුණේ ද යන්න හෝ පරීක්ෂා කර නැතිවව මෙම ගෙවීම් සිදුකර ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ.
චීනයෙන් ශ්‍රී ලංකවට එවන ලද බව කියන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,550ක් එම නැවේ තිබූ බවත් හානිකර ක්ෂුද්‍ර ජීවීන් සිටීම හේතුවෙන් එම නැව ආපසු හරවා යැවීමෙන් චීනයට සිදුවූ පාඩුව ලෙස ඩොලර් ලක්ෂ 69ක් ගෙවා තිබිණි. එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් 1,382.72කි.
විගණකාධිපති දෙපාර්තමේන්තුව සිය වාර්තාවෙන් පෙන්වා දෙන්නේ පොහොර නැව සම්බන්ධයෙන් රජය කටයුතු කර ඇති ආකාරය බලවත් සැකයක් ඇතිකරන බවයි.
එම නෞකාව 2021 වර්ෂයේ සැප්තැම්බර් මස 23 වැනි දින චීනයේ කින්ඩාඕ වරායෙන් පිටත් වූ බවට නෞකාපතට තොරතුරු ඇතුළත් කර ඇතත් එය සැබැවින් ම එම වරායෙන් පිටත්ව ඇත්තේ සැප්තැම්බර් මස 22 වැනි දින බව ද චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණයේ දී පෙනී යයි.
එමෙන් ම පොහොර පටවාගෙන ශ්‍රී ලංකාව අසළට මෙම නැව පැමිණ තිබුණු බව කී ව ද එය නිෂ්කාශනය කිරීම සඳහා කිසිදු නියෝජිතයකු පත්කර තිබී නොමැති බැවින් නැවේ සැබැවින් ම පොහොර පටවා තිබුණේ ද යන්න පවා කිසිදු වගකිව යුතු නිලධාරියකු දන්නේ නැත. අවම වශයෙන් එහි තිබුණා යැයි කියන පොහොර තොගය ශ්‍රී ලංකාවට ගොඩබෑම සඳහා සැළසුම්ක් පවා තිබී නැතැයි ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
එමෙන් ම පොහොර ආනයනය කිරීමේ දී පත්කරන ලද ස්වාධීන රසායනාගාර මගින් පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමෙන් පසු ණයවර ලිපි නිකුත් කිරීම කළ යුතු වුව ද පොහොර පැටවූ බව සමාගම විසින් දැනුම් දී ඇති දිනය වනවිට ණයවර ලිපි පවා නිකුත් කර තිබී නැත. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ණයවර ලිපි නිකුත් කිරීමට පෙර නැවට පොහොර සැපයුවේ කවර පුද්ගලයන්ගේ වුවමනාවට සහ උපදෙස් පරිදි ද යන්නත් ගැටලුවකි.
විගණන කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවේ දැක්වෙන්නේ මේ වනවිට ගණනය කර ඇති අලාභය නැවේ අඩංගු වූවා යැයි කියන පොහොරවල වටිනාකමින් 75%කට සමාන බවයි. නමුත් එය සෘජුව ගෙවා ඇති මුදල පමණක් බවත් සත්‍ය අලාභය මීට වඩා වැඩිවිය හැකියැයි ද එම වාර්තාව දක්වා තිබේ.
එමේන ම 2021/2022 මහ කන්නයේ දී සැළසුම් කළ කාබනික පොහොර නොලැබීමෙන් ශ්‍රී ලංකාවේ වගාවට සිදුවූ පාඩුවත් එ් හේතුවෙන් ආර්ථිකයට සිදුවූ අලාභයන් ගණනය කර නැති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
කාබනික පොහොර සැපයීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා රජය ගොවීන්ට වන්දි ගෙවන්නේ නම් ඒ පාඩුව ද මෙම සිද්ධියට ම ඇතුළත් කිරීමට සිදුවනු ඇත.