spot_img
spot_imgspot_img

ආසියානු කුසලාන අවසන් තරඟයට ශ්‍රී ලංකාව සමඟ පකිස්තානය

පුවත්

විදෙස්

ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත්වීමට ඊයේ (07) ඇෆ්ගනිස්තානය එක කඩුල්ලකින් පරාජයට පත්කළ පකිස්තානය සමත්වූයේය.

සුපිරි 04 දෙනාගේ වටයේ දී ජයග්‍රහණ දෙකක් බැගින් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තානු කණ්ඩායම මේ අනුව අවසන් මහා තරඟයේ දී ප්‍රතිවාදීන් වන අතර ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වීමට නියමිත සුපිරිි 04 දෙනාගේ තරඟය ඊට පෙරහුරු තරඟයක් මෙන් වනු ඇත.

ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය මෙතෙක් සහභාගී වූ තරඟ දෙකම පරාජයට පත්ව ඇති බැවින් එම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරඟයෙන් කවුරුන් ජය ලැබුව ද ඔවුන් දැනටමත් තරඟවාලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.

කාසියේ වාසිය දිනාගත් පකිස්තාන නායක බාබර් අසාම්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලබාගත හැකි වූයේ සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 129කක් පමණි. ඊබ්‍රහිම් සදාන් පන්දු 37ක දී හයේ පහරක් සහ හතරේ පහර 02ක් සමගින් ලකුණු 35ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේය.

හස්රතුල්ලා සසායි ආරම්භක පිතිකරුවා ලෙස ප්‍රහාරය ඇරඹුව ද ඔහු පන්දු 17ක දී හතරේ පහර 04ක් සමඟ ලකුණු 21කි. රහමනුල්ලා ගුර්බාස් පන්දු 11ක දී හයේ පහර 02ක් සමඟ ලකුණු 17ක් ලබා ගත්තේය. අවසන් පන්දුවාර කිහිපයේ දී ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ ගත් රෂීඩ් ඛාන් හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 18ක් රැස් කළේය. ඇෆ්ගනිස්තාන කණ්ඩායමට කඩුලු 06ක් දැවී ලබාගත් ලකුණු 129ක් යනු පකිස්තාන කණ්ඩායමට තරඟයක් දිය හැකි  ලකුණු සංඛ්‍යාවක් ලෙස විචාරකයන් හැඳින්වූයේ නැත.

ලකුණු 130ක පහසු ඉලක්කයක් පසුපස හඹායාමට පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායමට ඉලක්කය පහසු වූයේ නැත. ජයග්‍රහණය දෙපසටම දෝලනය වෙමින් ඉතාමත් තියුණු අවසානයක් දක්වා ගිය තරඟයේ දී ජයග්‍රහණය ලබාගන්නා විට පකිස්තානයේ කඩුලු 09ක් ම බිඳ වැටී තිබිණි. පකිස්තානයට අවසන් පන්දු වාරයේ දී ලකුණු 11ක් ලබා ගැනීමට තිබිණි. ඒ වනවිට ඔවුන්ගේ 09 වැනි කඩුල්ලත් බිඳ වැටී තිබුණුු බැවින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ද ජයග්‍රහණය ආසන්යේ ම සිටියේය. අවසන් පන්දුවාරය යැවූ ෆසාල්හක් ෆරූකිගේ පළමු පන්දු දෙකටම හයේ පහර දෙකක් එල්ලකරමින් පකිස්තානයට ජයග්‍රහණය ලබාදුන්නේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව මනාව පෙන්වා දුන් මෙම තරඟයේ 19 වැනි පන්දු වාරයේ දී පකිස්තාන කඩුලු  දෙකක් දවා ගනිමින් ලකුණු 10ක් පමණක් ලබාදුන් ෆරීඩඩ් අහමඩ් ජයග්‍රහණය ඇෆ්ගනිස්තානයට පහසු කර තිබිණි. සිය පළමු පන්දුවාර 03 දී අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වී ලකුණු 19කට කඩුලු 03ක් දවාගෙන සිටි ෆසාල්හක් ෆරූකි පන්දුව අතට ගන්නා විට ඇෆ්ගනිස්තානයට ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් තිබුණේ නැත. දවා ගැනීමට අවශ්‍යව තිබුණේ එක් කඩුල්ලක් පමණි පකිස්තානයට පන්දු 06 කින් ලකුණු 11ක් අවශ්‍ය විය. පිටියේ නම් දැරූ පිතිකරුවන් සිටියේ නැත. නමුත් තම පන්දුවාරයේ පළමු පන්දු දෙකම ෆුල්ටොස් පන්දු දෙකක් ලෙස එල්ල කළ ෆසාල්හක් නොතිබූ ජයක් පකිස්තානයට ලබා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!