පානදුර වෙරළට තල්මසුන් 30-40ක් පමණ රංචුවක් අද (02) පැමිණ සිටි අතර ඔවුන් යළි මුහුදට හරවා යැවීමට ප්‍රදේශවාසීහු සමඟ පොලිසිය, වනජීවී නිලධාරීන් හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රාත්‍රිය වනතුරුම දැඩි පරිශ්‍රමයක් දැරූහ.
මෙලෙස ගොඩගසා ඇත්තේ “කෙටි වරල් නියමු තල්මසුන්” (Short-finned Pilot Whales) යනුවෙන් ව්‍යවහාර වන සත්ත්ව විද්‍යාත්මකව Globicephala macrorhynchus යනුවෙන් හඳුන්වන තල්මස් විශේෂයයි.
අඩි 12-20 ත් පමණ දිගැතිව වැඩෙන මේ තල්මසුන් ගැඹුරු මුහුදේ රංචු වශයෙන් ජීවත් වෙයි. මීට වසර කිහිපයකට පෙර සාම්පූර් ප්‍රදේශයට මෙම වර්ගයේ තල්මසුන් රංචුවක් පැමිණ තිබූ අතර පසුගිය දා ඔ්ස්ට්‍රේලියාවේ වෙරළකට ද විශාල වශයෙන් ගොඩගසා තිබිණි.
පරිසරවේදීන් පවසන්නේ මේ තල්මස් විශේෂයේ රංචුවක ඉතා විශාල ප්‍රමාණයක් සතුන් ජීවත් වන බවයි. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ එක් නායකයකු යටතේ මහ මුහුදේ ආහාර සොයා සංචාරය කිරීමයි.
ඔවුන් සංචාරය සඳහා ශබ්ද තරංග (echolocation) භාවිතා කරන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.
පර්යේෂකයන් පවසන්නේ ශබ්ද තරංග භාවිතයෙන් සංචරණය සිදුකරන මෙවැනි සතුන් මුහුද යට ක්‍රියාත්මක කරනු ලබන අධිබල ශබ්ද තරංග නිකුත් කරනු ලබන සෝනාර් යන්ත්‍ර ක්රියාකාරීත්වයේ දී තම ගමන් මාර්ග අවුල් කරගන්නා බවයි. එමෙන් ම භූ විද්‍යාත්ක කැළඹීම් හෝ පෘථිවි චුම්භක ක්ෂේත්රයන්හි සිදුවන වෙනස්කම් හේතුවෙන් ද ඔවුන්ට තම ගමන් මාර්ගය සොයාගැනීමට අපහසු වී අතරමංවන බව ද පර්යේෂකයෝ කියති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජීව විද්‍යා පර්යේෂකයකු මෙන්ම විශේෂයෙන් මුහුදු ක්ෂීරපායී සතුන් පිළිබඳ පර්යේෂණ සිදුකරන රනිල් නානායක්කාර මෙසේ කීවේය.
“මේ තල්මස් විශේෂය ජීවත් වන්නේ ගැඹුරු මුහුදේ. ඇතැම් විට මුහුදේ ඉතා දුරක මාලදිවයින, ඉන්දියාව වැනි ප්‍රදේශයක ක්‍රියාත්මක කරන ලද සෝනාර් යන්ත්‍රයක තරංග නිසා ඔවුන්ගේ ශබ්ද තරංග අවුල් සහගත වෙලා අතරමං වෙන්න ඇති. නැතිනම් භූ විද්‍යාත්මක වෙනස් කමක් නිසා ඔවුන් අතරමං වෙන්න ඇති. මේ තල්මස් රංචුවක් කියන්නේ එක පවුලක්. කණ්ඩායමේ නායකයා අවුල් සහගත ශබ්ද තරංගයක් අනුව වෙරළට පැමිණියානම් එයා සමඟ අනිත් අයත් වෙරළට පැමිණෙනවා. එක් සත්ත්වයෙක් වෙරළට පැමිණි විට අනිත් සියලු දෙනා වෙරළට පැමිණීම ඒ අනුව අමුතු දෙයක් නෙවෙයි. ඇතැම් රවටල මේ වගේ තල්මසුන් ඩොල්ෆින් වැනි සත්තු වෙරළට පැමිණිවිට යළි මුහුදු ගත කරන්න පුහුණුව ලබපු අය ඉන්නවා. අපේ එවැනි පිරිසක් නැහැ. හැමෝම සාමූහිකව උත්සාහ ගන්නවා. නමුත් මේ සත්තු ඉතා විශාල සහ බරයි. ඔවුන් මුහුදට දැමීමට උත්සාහ කළත් රළ සමග නැවත නැවත්ත ගොඩබිමටම එනවා. වෙරළේ ඉන්න සතෙක් නිකුත් කරන ශබ්ද තරංග ඔස්සේ යළිත් එනවා. ඉතින් ඒ නිසා මේ අය යළි මුහුදු ගත කිරීම ඉතා අසීරු වැඩක්. සාර්ථක අසාර්ථකතාව ගැන කියන්න අමාරුයි.”
තල්මසුන් ගොඩගසා ඇතැයි යන පුවත සැළවිමත් සමගම නිරෝධායන නීති නොතකමින් අතිවශාල පිරිසක් පානදුර වෙරළට රැස්ව සිටිනු අද දැකගත හැකිවිය.
(ඡායාරූප සමාජ මාධ්‍යවල හුවමාරුවන ඒවා අතරිනි. හිමිකරුවා දන්නේ නැත.)