5.4 C
New York

පිහි ඇනුමකින් 10 දෙනකු මරුට

Published:

කැනඩාවේ මධ්‍යම සස්කැච්වන් පළාතේ පිහි ඇනුමකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

ජේම්ස් ස්මිත් ක්‍රී නේෂන් හි ස්ථාන 13 ක සහ ඒ ආසන්නයේ වෙල්ඩන් ගම්මානයේ පිරිසක් මෙලෙස පිහි ඇණුමට ලක්ව ඇත.

ඩේමියන් සැන්ඩර්සන් සහ මයිල්ස් සැන්ඩර්සන් නම් දෙදෙනකු ‍සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් පලා ගොස් ඇතැයි වාර්තා වේ.

පොලිසිය විසින් ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබේ.”ආරක්ෂිත ස්ථාන වෙත යන්න. අන් අයට ඔබේ නිවසට ඇතුළු වීමට ඉඩ දීමෙන් ප්‍රවේශම් වන්න,” යනුවෙන් පොලිසිය ප්‍රදේශයේ ජනතාවට දැනුම් දී ඇත.

වහාම ක්‍රියාත්මකවී පොලිස් මුරපොලවල් කිහිපයක් පිහිටුවූ බවද පොලිසිය පවසයි. පොලිසිය සංචාරකයින්ගේ අනන්‍යතාවය පරීක්ෂා කරන අතර, අවිශ්වාස පුද්ගලයන් රැගෙන නොයන ලෙස රියදුරන්ගෙන් ද ඉල්ලා ඇත.

වෙල්ඩන්හි ඊසාන දෙසින් ජේම්ස් ස්මිත් ක්‍රී නේෂන්හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. 2,000ක පමණ ජනතාවක් වෙසෙන මෙම ගම්මානයේ 200ක පමණ ආදිවාසී ප්‍රජාවක් ද ජීවත්වන බව සඳහන් වේ.

මෙය කැනඩාවේ මෙතෙක් වාර්තාවූ මාරාන්තිකම ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස විචාරකයෝ සඳහන් කරති. අගමැති ජස්ටින් ටෘඩෝ සිය ට්විටර් වෙබ් අඩවියේ මෙම ප්‍රහාරය විස්තර කළේ “භයානක හා හද කම්පා කරවන” ප්‍රහාරයක් ලෙසය. “අද සිදුවූ බිහිසුණු ප්‍රහාරයෙන් මම කම්පනයට පත්ව සිටිමි. පිළිකුල් සහගත ප්‍රහාරවලට වගකිවයුත්තන් සම්පූර්ණයෙන්ම යුක්තිය ඉදිරියට ගෙන ආ යුතුයි.” හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සස්කැච්වාන් හි අණදෙන නිලධාරි රොන්ඩා බ්ලැක්මෝර් පැවසුවේ සැකකරුවන් දෙදෙනා විසින් සමහර පුද්ගලයින් ඉලක්ක කර ඇති අතර අනෙක් අයට “අහඹු ලෙස පහර දී ඇති” බවට විශ්වාස කරන බවයි.

සැකකරුවන් වන 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් අතර සම්බන්ධය අපැහැදිලි වන අතර බලධාරීන් මේ දක්වා වැඩිදුර තොරතුරු ලබා දී නොමැත.

https://www.bbc.com/news/world-us-canada-62790900

Related articles

Recent articles

spot_img