(මෙවැනි දෙයක් ඔබට හෙට සිදුවනු ඇත. එබැවින් ලිපිය සම්පූර්ණයෙන් කියවන්න. සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන්නේ එක නීතියක් නොවේ.)
කොරෝනා ආසාදිත යැයි හඳුනාගත් පුද්ගලයන් හා නිරෝධායනයට යොමු වී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් සෞඛය අංශ ඇතුළු බලධාරීන් අනුගමනය කරන ප්‍රතිපත්ති හේතුවෙන් බරපතල ගැටලු කාරී තත්ත්වයක් උදා වී තිබේ.
කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ දී සෞඛ්‍ය බලධාරීන් සාමාන්‍ය රෝගීන්ට වෙනස් ආකාරයකටත් සමාගම් හා කර්මාන්ත ආයතන වෙතින් වාර්තාවන රෝගීන්ට තවත් ආකාරයකටත් සළකන්නේ ද යන්න පිළිබඳ ප්‍රශ්නාර්ථයක් පැන නගී.
සෞඛ්‍ය ආමත්‍යාංශය නිවේදන කරමින් කියා සිටියේ කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගත් පුද්ගලයකුගේ දෙවැනි පීසීආර් පරීක්ෂණය කරන්නේ ආසාදිත බවට වාර්තා වී දින 10කට පසු බවයි.
මේ කොන්දේසිය සාමාන්‍ය පුරවැසියන් සම්බන්ධයෙන් අකුරටම ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් සමාගම්වල සේවකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ වෙනස් ප්‍රතිපත්තියකි. ඔවුන්ට ඉහත කී නීතිය වලංගු වී නැත.
සෞඛ්‍ය බලධාරීන්ගේ මේ දෙබිඩි ප්‍රතිපත්තියට හොඳම උදාහරණ ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.
පසුගිය දා ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තොටගොඩ පදිංචි 23 හැවිරිදි තරුණයකු ජපන් යාම සඳහා පුද්ගලික රෝහලකින් කරගත් පීසීආර් පරීක්ෂණකින් කියැවුණේ ඔහු කොරෝනා ආසාදිත බවයි.
මේ අනුව වහාම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය අංශ මහ රාත්‍රියේ ම ඔහු හම්බන්තොට රෝහලේ කොරෝනා රෝගීන් අතරට යවා තිබිණි. නමුත් ඔහුගේ පියා දිගින් දිගටම කියා සිටියේ විදේශගත වීම සඳහා තම පුතාට පීසීආර් පරීක්ෂණය සිදුකළ පුද්ගලික රෝහල කෙරෙහි විශ්වාසයක් නොමැති බවයි.
ඔහුට පීසීආර් වාර්තාව ලබා දීම පැය ගණනක් ප්‍රමාද කළ ගාල්ල නගරයේ පිහිටි රෝහලේ ගාල්ල ශාඛාව ඔවුන්ට කොළඹ නාරාහේන්පිට ප්‍රධාන රෝහල් පරිශ්‍රයට යන ලෙස දන්වා තිබිණි. එහි ගොස් පැය දෙකක් පමණ ප්‍රමාද වුව ද පරීක්ෂණ වාර්තාව ලබා නොදුන් බැවින් ඇතිවූ බහින් බස්වීමකින් විනාඩි 07කට පසු තම පුතාට කොරෝනා ආසාදනය වී ඇතැයි එස්එම්එස් පණිවිඩයක් ඒවූ බව ඔහු කියයි.
මේ තාත්තා සෞඛ්‍ය අංශවලට මෙන්ම මාධ්‍යයට ද මේ කරුණු දිගින් දිගටම පැහැදිලි කළේය. නමුත් ඒ කරුණු ගැන අවධානයක් යොමු නොකළ සෞඛ්‍ය බලධාරීන් මාධ්‍යයට කීවේ මේ තරුණයාට කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රයක් සොයා ගැනීමට නොහැකි වූ බවයි. තරුණයාගේ මාමා කෙනෙකු නිරෝධායනය වී පීසීආර් පරීක්ෂණ 06 කින් ම කොරෝනා නැතැයි තහවුරු වී නිවසට පැමිණ තිබිණි ඔහු ඇතුළු සමීපතමයන්ගේ පීසීආර් පරීක්ෂණ රජයෙන් සිදුකළ ද ඒ සියල්ලත් සෘණාත්මක විය. නමුත් දින දෙකකට පසු සෞඛ්‍ය අංශ හෙළිදරව් කළේ මේ තරුණයා මිනුවන්ගොඩ සාදයකට සහභාගී වී ඇති බවකි. එම කරුණ තරුණයාගේ දෙමාපියන් තරයේ ප්‍රතික්ෂේප කළ ද සෞඛ්‍ය අංශ ඒ ගැන කිසිදු තැකීමක් නැත.
දරුවාගේ පියා මෙසේ පැවසීය.
“ මට පුද්ගලික රෝහලෙන් දීපු පීසීආර් පරීක්ෂණය ගැන බරපතල ගැටලුවක් තියෙනවා. සෞඛ්‍ය අංශත් මුලින් කිව්වා දරුවාට කොරෝනා හැදුනු මූලාශ්‍රයක් නැහැ කියලා. ඒ නිසා අපි දිගින් දිගටම ඉල්ලීම් කළා දරුවාගේ පීසීආර් එකක් රජයෙන් කරන්න කියලා. ඒත් කිව්වා දවස් 10ක් යනතුරු පුතාගේ පීසීආර් නැවත කරන්න බැහැ කියලා. පුතාව ගෙනිහින් කොරෝනා ආසාදිතයන් සමග රෝහල්ගත කළා. මේක ලොකු අසාධාරණයක්. ඇත්තටම පුතාට කොරෝනා ආසාදනය වෙලා තිබුණානම් පුතත් මමත් ඒ රෝහලේ රැඳී සිටිය කාලයේ එතැන සිටි අය නිරෝධායනය කරන්න ඔ්නෑ. එහෙම කළේ නෑ. අපි ගිහින් ගාල්ල ශාඛාවෙන් පරීක්ෂණය කළේ. එතැන අයත් නිරෝධායනය කළේ නැහැ. ඒ රෝහල දන්නවා අපිට දුන්නේ බොරු වාර්තාවක් කියලා.”
ඔහු මේ කරුණු කියා සිටියේ පසුගිය 31 වැනි දිනයේ දී ය. ඒ මොහොතේ සිට මේ කරුණු පිළිබඳ අපි සෞඛ්‍ය අංශ වෙතින් විමසුවෙමු.
“ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ම තමයි පුද්ගලික රෝහල්වලට පීසීආර් කිරීමට අවසර දුන්නේ. ඒ වාර්තා අපි පිළිගන්නවා. නැවත නැවත වාර්තා ගන්නේ නැහැ. දැන් ඒ තරුණයාගේ පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වෙලා තියෙනවා එයා ආසාදිතයෙක් බව රජයේ ප්‍රතිපත්තිය අනුව තවත් දින 10ක් ගතවනතුරු නැවත පීසීආර් පරීක්ෂණයක් කරන්න කිසිම ඉඩක් නැහැ.” අප සෞඛ්‍ය බලධාරින් රැසකට මේ පිළිබඳ කීව ද ඔවුන් සැමගේ පිළිතුර වූයේ එයයි.
කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයට අමතා මෙම ලිපිය ලියන මා පුද්ගලිකව ම ඒ ගැන විමසා සිටි අවස්ථාවේ දී ද ලැබුණේ එම පිළිතුරමය.
නමුත් පසුගිය 31 වැනි දා ගාල්ලේ පෞද්ගලික රෝහලකින් පීසීආර් පරීක්ෂණ සිදුකරගත් ගාල්ල මාගාල්ල හේලීස් සමාගමේ සේවකයන් 04 දෙනකු ආසාදිත වී තිබිණි. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය අංශ එම ආසාදිතයන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමටත් ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමටත් කටයුතු කළේය. සෞඛ්‍ය අංශ එදා (31) වෙනත් කිසිවක් කීවේ නැත.
නමුත් අද (02) දා උදෑසන අප ඇමතූ හේලීස් සමාගමේ මානව සම්පත් කළමනාකරු ශාන්ත කුමාර කීවේ තම ආයතනයේ සේවකයන් හතර දෙනාට කරන ලද දෙවැනි පීසීආර් පරීක්ෂණයකින් ඔවුන් ආසාදිතයන් නොවන බව හඳුනාගෙන ඇති බවයි.
මම – දෙවැනි පීසීආර් කළේ කොහෙන් ද ?
පිරිස් කළමනාකරු – සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින්
මම – කවද ද ?
පි.ක. – එදාම. ඒ හතරදෙනාගේම ගෙවල්වලදී ම ගත්තා.
මම – රජය කියනවානේ දෙවැනි පීසීආර් පරීක්ෂණයක් කරන්නේ 10 වැනි දවසේ කියලා. එයාලගේ කළේ කොහොම ද ?
මම – ඒක දන්නේ නැහැ. නමුත් අපි ඉල්ලීමක් කළා. පුද්ගලික රෝහලේ වාර්තාව පිළිගන්න බැහැ කියලා. රජයෙන් කරන්න කියලා. ඒ අය කළා. දැන් වාර්තාව නෙගටිව්.
සැබැවින්ම රජයේ සෞඛ්‍ය අංශ විසින් මෙලෙස දෙවැනි පරීක්ෂණයක් සිදුකර තිබේ ද යන්න සොයා බැලීමට ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛය බලධාරීන් ඇමතුවෙමි. එතැනින් ලැබුණු පිළිතුර වූයේ
“ හේලීස් සමාගමේ හතර දෙනාම නෙගටිව් වෙලා තියෙන්නේ. අපි එදාම ඒ අයගේ ගෙවල්වල දී ම අලුතෙන් පීසීආර් ගත්තා. අරගෙන කරාපිටියට යවලා ඉක්මණට ප්‍රතිඵලයත් ඉල්ලුවා. දැන් නෙගටිව් වෙලා. ඉතින් සමාගමේ අයට ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒ හතර දෙනා දැනට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඉන්නවා. අනික ඒ අයට කොරෝනා හැදෙන්න කිසිම මූලාශ්‍රයක් නැහැනේ.”
මම තවත් ප්‍රශ්නයක් ඇසුවෙමි.
“මූලාශ්‍රයක් නෑ කියන්නනම් බැහැ නේ ද ? හේලීස් එක තියෙන්නේ මාගාල්ලේ ධීවර වරාය ළඟ. පෑලියගොඩ ගිහින් එන ලොරි නවත්වන්නේ හේලීස් එක ඉස්සරහා. මේ සේවකයන් කෑම කන්නේ, වෙනත් සඳහා යන්නෙත් ධීවරයන් සහ ලොරි රියදුරන් යන කඩවලට ම නේ. අනික දැන් රජය කිව්වානේ කොරෝනා ආසාදිත කියලා පළමු වාර්තාවෙන් කියවෙන කෙනෙකුගේ දෙවැනි පීසීආර් එක කරන්නේ 10 වැනි දිනයේ දී කියලා. මෙතෙන්දී ඒක වෙනස් වුණා ද ?”
ඔහු මෙසේ කීවේය.
“ඒ සමාගමෙන් තමයි කියල තියෙන්නේ එයාලගේ සේවකයන්ට කොරෝනා හැදෙන්න මූලාශ්‍රයක් නැහැ කියලා. අපිට වසංගත විද්‍යා ඒකකයේ කොළඹින් තමයි කිව්වේ දෙවැනි පීසීආර් පරීක්ෂණය කරන්න කියලා.”
මට ඇති අනෙක් ගැටලුව ද විසඳා ගැනීමට උත්සාහ ගත්තේ මේ ආකාරයෙනි.
“ අර තොටගොඩ අවුරුදු 23ක ළමයෙක් පොසිටිව් කියලා පීසීආර් එකක් දුන්නේත් ඔය කියන පුද්ගලික රෝහලෙන්ම තමයි. ඒ ළමයාගේ මූලාශ්‍රයක් සොයාගන්නත් බැරිවුණා කිව්වා. ඒ ළමයාගේ තාත්තා දිගින් දිගටම කිව්වා පුද්ගලික රෝහල එක්ක ගැටලුවක් ඇතිවුණා මේ දරුවාගේ පීසීආර් එකක් කරන්න කියලා ඒ වෙලාවේ මම මේ කාර්යාලයෙන් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇහුවම කිව්වේ දින 10ක් යනතුරු කිසිම හේතුවක් නිසා පීසීආර් නැවත කරන්නේ නැහැ පළමු එක හරිවුණත් වැරදි වුණත් පිළිගන්නවා කියලා. දැන් ඒක සාමාන්‍ය තරුණයකුට අදාල වුණාට සමාගම්වලට අදාල නැද්ද ?”
පිළිතුර වූයේ “ දඩාස් …” ශබ්දයයි. දුරකථනය වේගයෙන් තබා අවසන්ය. පිළිතුරක් නැත.
ඉන්පසු මේ ගැන වැඩි විස්තර සොයා බැලීම සඳහා කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ අප දන්නා වෛද්‍යවරුන්ට කතා කළ විට ඔවුන් කියා සිටියේ
“අනේ අපි ඒ ගැනනම් දන්නේ නෑ.” යනුවෙනි.
මේ සෞඛ්‍ය බලධාරීන්ගේ දෙබිඩි ප්‍රතිපත්තියයි.
රටකට එක නීතියක් තිබිය යුතු වුව ද, අපේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට ඇත්තේ එක් නීතියකි. සමාගම්වලට ඇත්තේ තවත් නීතියකි.
හේලීස් සමාගමේ පීසීආර් පරීක්ෂණ පැවැත්වූ පුද්ගලික රෝහල විසින් ම ජපන් යාමට සිටි තරුණයාගේ පීසීආර් පරීක්ෂණ පවත්වා තිබිණි. සාමාන්‍ය පවුලක දරුවකු වූ ඒ තරුණයාගේ යළි පීසීආර් පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රතිකෂේප කරමින් තවත් මාස ගණකට ඔහුගේ උසස් අධ්‍යාපන අවස්ථාව පස්සට ඇදදැමූ සෞඛ්‍ය බලධාරීන් සමාගම ඉදිරියේ දෙකට තුනට නැවෙන ආකාරයනම් පැහැදිලිය. ඒ් බලධාරීන් ම හේලීස් සමාගමට පුද්ලික රෝහලෙන් දුන් වාර්තා වරදිස්නට ඇතැයි ද තරුණයාට දුන් වාර්තා ටක්කෙටම නිවැරදියැයි කියන්නේ කෙසේදැයි ප්‍රශ්න කර වැඩක් නැත.
අපට ගැටලුවක් නැත. අප ප්‍රාර්ථනා කරන්නේ ද හේලීස් සමාගමේ කිසිවෙකුට කොරෝනා නොසෑදේවා යන්නයි. ඔවුන්ට පීසීආර් පරීක්ෂණ එකක් දෙකක් නොව වැඩි ගණනක් කර හෝ ඒ බව තහවුරු කිරීම සතුටට කරුණකි. නමුත් සමාගම්වලට රජයේ සෞඛ්‍ය බලධාරීන් දක්වන අනුග්‍රහය සාමාන්‍ය මිනිසුන්ට ද සමානව ලැබිය යුතුය.
මේ සමගම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ම බලධාරියකු කී තවත් අතුරු කතාවක් මෙහි සටහන් කර මේ ලිපිය අවසන් කරන්නෙමු.
“වැඩක් නෑ කතා කරලා. අපි සැක සහිත අයට නිවෙස්වලම නිරෝධායනය වෙන්න කිව්වම බලධාරීන්ම ගිහින් කියනවා ඒ අයට වැඩට යන්න කියලා. ඉතින් මේ සෞඛ්‍ය සේවාවට මේ කොරෝනා මර්ධනය කරන් බැහැ. අර කොග්ගල ගාර්මන්ට් එකේ කෙනෙක් පොසිටිව් වූ නිසා එයාගේ ආශ්‍රිතයන් නිරෝධායනය කළා. ඒ අයට නෙගටිව් වුණත් දවස් 14 ඉන්න අවශ්‍යයි. නමුත් රජයේ ම නිලධාරීන් ගිහින් කියලා ඔයාලා දැන් වැඩට යන්න කියලා. මේක මේ විදියට කරන්න බෑ.” ඔහු කියන කතාව එවැන්නකි.
මේ නතන්ත සියල්ල සමගින් පෙනෙන්නේ කොරෝනා වයිරසයට මේ සමාජය බිලිගන්නට ඉඩකඩ විවර කර දී ඇති ආකාරයයැයි කෙනෙකුට සිතෙනු ඇත. සිතිවිලි ඔබට භාරය.
(සජීව විජේවීර)