ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආසන්නයේ නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද දැවැන්ත ගොඩනැගිලි දෙකක් කඩා බිඳ දැමීමට ඉරිදා (28) ඉන්දීය බලධාරීන් කටයුතු කළේය. ජනාකීර්ණ මහල් නිවාස 850ක් සහිත, මීටර් 103ක් පමණ උස, මෙම ගොඩනැගිලි තත්පර 10 කට අඩු කාලයකදී කඩා බිඳ දැමූ අතර, එය ඉන්දියාවේ මෙලෙස ඉවත් කළ උසම ඉදිකිරීම් බව පැවසේ.
එම අවස්ථාවේ දුහුවිල්ලෙන් නේවාසික ප්‍රදේශය වැසී යද්දී අසල උස් ගොඩනැගිලිවල වහලවල්වල සිට කඩා වැටෙන අයුරු බලා සිටි ජනතාව ප්‍රීති ඝෝෂා නඟා අත්පුඩි ගැසූ බව සඳහන් වේ.
නොයිඩා ප්‍රදේශයේ ඉදිකර තිබූ මෙම කුළුණු, ගොඩනැගිලි රෙගුලාසි සහ ගිනි ආරක්ෂණ ප්රමිතීන් උල්ලංඝනය කර ඇති බවට දීර්ඝ නීතිමය ක්‍රියාවලියකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ නිගමනය කළේය. ඉන්දියාවේ, නීතිවිරෝධී ඉදිකිරීම් බහුලව සිදු වුවද මෙවැනි කඩා ඉවත් කිරීම් දුර්ලභ ය.
ගොඩනැගිලි පුපුරුවා හැරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,700 (රාත්තල් 8,100)ක් භාවිතා කළ බව නිලධාරීන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසීය. උපාය මාර්ගිකව ස්ථානගත කරන ලද පුපුරණ ද්රව්,ය ප්‍රදේශයට අවම හානියක් සිදුවන පරිදි යොදාගත් බව පැවසේ.
කෙසේවුවද අවට ස්ථාන වලට කිසියම් හානියක් සිදුවී ඇත්ද යන්න තක්සේරු කරමින් සිටින බව පොලිසිය පවසයි.
පිපිරුම් ස්ථානය ආසන්නයේ පිහිටි සිය මහල් නිවාසවලින් පැය 10 ක පමණ කාලයක් සඳහා දහස් ගණනක් පිරිස් ඉවත් කිරීමට බලධාරීහු කටයුතු කළහ. කුළුණු කඩා ඉවත් කිරීම සඳහා පොලිස් සහ හදිසි නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යොදවා තිබිණ .
අවට ඇති සමහර ගොඩනැගිලි සුන්බුන් වලින් ආරක්ෂා කිරීම සඳහා සුදු ප්ලාස්ටික් තහඩු වලින් ආවරණය කර තිබිණ.
ට්විටර් වෙබ් අඩවියේ බොහෝ අය කියා සිටියේ කුළුණු පුපුරුවා හැරීමට ගත් තීරණය දූෂණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් වන අතර එය ඉදිකිරීම්කරුවන්ට සහ ඉදිකිරීම් සමාගම්වලට ආදර්ශයක් සහ අනතුරු ඇඟවීමක් වනු ඇති බවයි.
පිපිරීමෙන් සුන්බුන් ටොන් 80,000 කට වඩා ඉතිරි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන් බොහෝමයක් එම ස්ථානය පිරවීම සඳහා භාවිතා කරන අතර ඉතිරිය ප්‍රතිචක්‍රීකරණය කිරීමට නියමිතය.