-3.9 C
New York

ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

Published:

ආසියානු කුසලානය ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක තරඟයේ දී ම නින්දාසහත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (27) සිදුවිය.

සියලු දෙනා දැවී ලකුණු 105ක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පන්දු 59ක් ඉතිරිව තිබිය දී ම කඩුළු දෙකක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්විය.

මෙම පරාජය ශ්‍රී ලංකා විස්සයි 20 තරඟයක දී වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබිය දී ලද දැවැන්තම පරාජයන් අතර දෙවැනි තැනට පත්විය. මේ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමේ අවදානමකට මුහුණ පා සිටියි. සුපිරි 04 දෙනා අතරට පිවිසීමට නම් ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරඟය විශාල ලකුණු වේගයකින් ජයගැනීම හෝ බංග්ලාදේශය ඉතිරි තරඟ දෙකම පරාජය වීම හෝ සිදුවිය යුතුය.

කාසියේ වාසිය පරාජය වීමෙන් පළමුව පන්දුවට පහරදීමට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හිස එසවීමට අවස්ථාවක් දුන්නේ නැත. පළමු පන්දුවාර දෙක අවසන්වීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුළු 03ම දැවී ගොස් තිබිණි.

අද ඉනිම ආරම්භ කළ කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක එලෙස දැවී ගියහ.  පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ෆසාල්හක් ෆාරුක්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර චරිත් අසලංක තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම දැවී ගියේය. දෙවැනි පන්දුවාරය යැවූ නවීන් උල්හක්ගේ පන්දුවකට පහරක් එල්ලකිරීමට යෑමේ දී එය පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලෙස ගියේයැයි විනිසුරුවරයා තීරණය කළේය. තෙවැනි විනිසුරුවරයාගේ තීරණය අනුව එය පිත්තේ නොවැදුණු පන්දුවක් වුව ද පිටියේ විනිසුරුවරයාගේ තීරණනය අවසන් තීරණය විය. ඒ අනුව ලකුණු 05 ක දී ශ්‍රී ලංකා පළමු කඩුළු 03ම බිඳ වැටී තිබිණි.

ඉන් පසු ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ අතර හතරවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක සම්බන්ධතාවක් ඇතිවිය. නවීන් උල්හක්, මුජීබ් උර් රෙහ්මාන් සහ මොහොමඩ් නබී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු වැඩි කොටසක් බෙදා ගත්හ. පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය වැඩියෙන් කැපී පෙනෙද්දී ඒ අතරට දුවද්දී දැවී යෑමේ දෙකක්ද ඇතුළත්වීම ශ්‍රී ලංකා ඉනිමේ කණගාටුව තවත් වැඩි කරවන්නක් වූවේය. පළමු කඩුලු 9 ම ලකුණු 75 කදී බිඳ වැටී තිබියදී විටෙක ශ්‍රී ලංකාව මෙතෙක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාවට දැවී යෑමේ අවධානමට මුහුණ දුන්නද අවසන් කඩුල්ල ඩිල්ෂාන් මදුශංකව ආරක්ෂා කර ගනිමින් චාමික කරුණාරත්න පන්දුවට පහර දීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 105 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට අවස්ථාව උදාවිය.

Related articles

Recent articles

spot_img