spot_img
spot_imgspot_img

ආසියානු ක්‍රිකට් සැණකෙළියේ තතු

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියනු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද (27) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වෙයි.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සත්කාරකත්වයෙනි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් තරඟාවලිය ශ්‍රී ලංකාවේ නොපවත්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සභාව තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ එක්ව තරඟාවිලයේ සංවිධාන කටයතු මෙහෙයවයි.

1984 වර්ෂයේ දී ආරම්භ වූ ආසියානු කුසලාන තරඟාවලියේ අවස්ථා 07ක දී ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව ඇත. ශ්‍රී ලංකාව අවස්ථා 05ක් ශූරතාව දිනා ඇති අතර පකිස්තානය අවස්ථා 02ක දී ශූරතාව හිමිකරගෙන තිබේ. ආරම්භයේ සිට ම එක්දින තරඟාවලියක් ලෙස පැවැති ආසියානු කුසලාන තරඟාවලිය පසුගිය වර්ෂයේ දී විස්සයි – 20 ලෝක කුසලානයට සමගාමීව එම තරඟරටාවෙන් පැවති අතර මෙවර ද එය විස්සයි – 20 තරඟාවලියක් ලෙස පැවැත්වේ.

මෙම තරඟාවලියේ දී මූලික වටයේ තරඟ කණ්ඩායම් දෙකක් ලෙස පැවැත්වේ. “ඒ” කාණ්ඩය යටතේ ඉන්දියාව, පකිස්ථානය සහ සුදුසුකම් ලැබීමේ තරඟ වටයක දී සුදුසුකම් හිමිකරගත් හොංකොං කණ්ඩායමත් ඇතුළත්ව සිටියි. “බී” කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ඇතුළත්ව සිටියි.

සෑම කණ්ඩායමකට ම මූලික වටයේ දී තරඟ දෙක බැගින් හිමිවන අතර එහි දී එක් තරඟයක් හෝ පරාජය වුවහොත් අවදානමකට මුහුණ දීමට ද සිදුවෙයි. එවිට ශුද්ධ ලකුණු වේගය අනුව සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමට සිදුවෙයි. අවසන්වරට පැවැති ආසියානු කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකාව මූලික වටයේ දී ම බංග්ලාදේශයට සහ ඇ‍ෆ්ගනිස්ථානයට පරාජය වීම හේතුවෙන් මූලික වටයෙන් ම ඉවතට විසිවීමට සිදුවිය.

ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය ප්‍රතිවාදීන් වී ඇති බැවින් මෙම කාණ්ඩයේ තියුණු තරඟයක් දැකගත හැකිවනු ඇත.

හොංකොං කණ්ඩායම යම් පෙරැළියක් සිදු කිරීමට අපොහොසත් වුවහොත් ඉන්දියාව සහ පකිස්තානය පහසුවෙන් ම සුපිරි 04 දෙනාගේ වටයට පිවිසෙනු ඇත.

සුපිරි 04 දෙනාගේ වටය ලීග් ක්‍රමයට පැවැත්වෙයි. එහි දී සෑඹ කණ්ඩායමකට  ම තම ප්‍රතිවාදීන් තුන්දෙනා සමඟ ක්‍රීඩා කිරීමට සිදුවන අතර ඉහළම දස්කම් දක්වා ඇති කණ්ඩායම් දෙකට අවසන් මහා තරඟයට පිවිසීමේ වරම් හිමිවෙයි.

මෙම තරඟාවලියේ දී තරඟ 13ක් පැවැත්වීමට නියමිතය. ඉන් තරඟ 03ක් සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ද තරඟ 10ක් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වෙයි. මෙම සියලු තරඟ රාත්‍රී තරඟ‍ ලෙස ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වෙයි.

අද තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරඟය පැවැත්වෙයි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟය සැප්තැම්බර් මස 01 වැනි දා පැවැත්වේ.

මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය සැප්තැම්බර් 11 වැනි දා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!