ශ්‍රී ලංකාවේ උද්ධමනය විශාල වශයෙන් ඉහළ ගොස් ඇතත් ඉදිරියේ දී එය යම් තරමකින් අඩුවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
මේ වනවිට ශ්‍රී ලංකාව ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතරු 05 වැනි ස්ථානයේ රැඳී සිටියි.
ශ්‍රී ලංකාවට ඉහළින් ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව, තුර්කිය පසුවෙයි.
ලෙබනනයේ නාමික ආහාර උද්ධමනය 332%කි, සිම්බාබේව එය 309% වන අතර වෙනිසියුලාව 155%කි. තුරිකියේ නාමික ආහාර උද්ධමනය 95%කි. ශ්‍රී ලංකාවේ නාමික ආහාර උද්ධමනය මේ වනවිට 91%ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වනවිට ඌන සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සියල්ලම පාහේ අධික ආහාර උද්ධමනයකට මුහුණ දී සිටිය ද ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය මෙතරම් ඉහළ යාමට බලපා ඇත්තේ ලෝකයේ ඇති සාමාන්‍ය ප්‍රවණතාව ම පමණක් නොවේ. වැරදි දේශපාලන තීන්දු තීරණ ශ්‍රී ලංකාව මේ තත්වයට ඇද වැටීමට හේතු වී ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවේ පොහොර හිඟය දේශපාලන තීන්දුවක් මිස ලෝක ප්‍රවණතාවක් නොවේ. රසායනික පොහොර සඳහා සීමා පනවමින් හිටි හැටියේ කාබනික පොහොර වගාවකට යොමු වීමේ ප්‍රතිඵලය වූ ඇත්තේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය 40%-50%ත් අතර ප්‍රමාණයකින් අඩුවීමයි.
එමෙන් ම වැරදි මූල්‍ය කළමනාකරණය, අනවශ්‍ය වියදම් ආදිය හේතුවෙන් ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත සීඝ්‍රයෙන් අඩු වූ අතර ප්‍රතිඵලය වූයේ රුපියලට සාපේක්ෂව ඇමෙරිකා ඩොලරය අධික ලෙස ඉහළ යාමයි. එය රුපියල් 360.00 ඉක්මවා ගියේය.
මේ හේතුවෙන් ආහාර සැකසීම සහ සැපයුම සඳහා අවශ්‍ය පොහොර සහ ඉන්ධන ඇතුළු සියලු සේවාවන්හි මිල අසීමිත ලෙස ඉහළ ගිය බැවින් ආහාර උද්ධමනය කිහිප ගුණයකින් වැඩිවිය.
ලෝක බැංකුව අනතුරු අඟවන්නේ ශ්‍රී ලංකාවේ ආහාර සැපයීම තවදුරටත් පහළ යනු ඇති බවයි.
ආහාර සහ ආහාර නොවන ද්‍රව්‍යවල මිල ඉහළ යාම මෙලෙස උද්ධමනය වැඩිවීමට හේතුවක් වී තිබේ.
දැනට ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 03ක ණය පහසුකම් බලාපොරොත්තු වෙයි. ඊයේ (24) සිට නැවත ඒ සඳහා සාකච්ඡා ආරම්භ වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට දැන් පැමිණ සිටින අතර ඔවුන් සහ රජය අතර සාකච්ඡා කිහිපයක් ම සිදුකිරීමට නියමිතය.
දැනට තියෙන ණය ප්‍රතිව්‍යුහගත කර එම ණය ආපසු ගෙවීම පිළිබඳ ස්ථායී වැඩපිළිවෙලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉල්ලා තිබේ. එමෙන් ම ශ්‍රී ලංකාවේ ණය හිමිකරුවන්ගෙන් ද ඒ පිළිබඳ සහතිකයක් අවශ්‍යයැයි අරමුදල ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත. නමුත් මේ දක්වා ම ඇති ගැටලුව නම් චීනය එම ක්‍රියාවලියට එකඟ කරගැනීමට නොහැකිවීමයි. එබැවින් ණය තිරසරභාවය පිළිබඳ ශ්‍රී ලංකාව හමුවේ තවමත් ගැටලුකාරී තත්වයක් පවතී,
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා කියා සටියේ ණනය තිරසාරභාවයට ඇතිකිරීමට ගන්නා උත්සාහය සරල සහ පහසු කාර්යයක් නොවන බවයි.
ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට ජනගහනයෙන් ලක්ෂ 63ක ප්‍රමාණයකට තමන්ට අවශ්‍යතරම් ආහාර ලැබෙන්න් නැත. එනම් ඔවුන් ආාහර අනාරක්ෂිත තත්වයට පත්ව සිටියි.
එමෙන් ම ලක්ෂ 67ක පිරිසක් ප්‍රමාණවත් ආහාර වේලක් අනුභව කරන්නේ නැත. මෙය ශ්‍රී ලාංකීය පුරවැසියාගේ පෝෂණයට සෘජුව බලපාන කරුණක් වී ඇත. ඉදිරියේ දී ශ්‍රී ලාංකික ජනතාව නිසි පෝෂණයක් නොලබන පිරිසක් බවට පවත්වෙමින් තිබෙන බව මේ සංඛ්‍යාලේඛන දත්ත අනුව පැහැදිළි වන කරුණකි.