පාසල් වියේ පසුවන පිරිමි ළමුන් ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබ සිටින ගාල්ල මැටරඹ කපුවාගේ මානසික තත්වය පිළිබඳ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබාගන්න යැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (23) නියෝග කළාය.
ගාල්ලේ මැටරඹ දේවාලයක් පවත්වාගෙන ගිය කීර්ති කුමාර බටගොඩ නමැති පුද්ගලයා අද අධිකරණය ඉදිරිපත් කරපු අවස්ථාවේ දී ඔහු නැවත සැප්තැම්බර් 06 වැනි දා දක්වා රිමාන්ඩ කිරීමේ නියෝගය නිකුත් කරමින් එම නියෝගය ද නිකුත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට ඔහු විසින් අපයෝජනය කළ පිරිමි ළමයින් 08 දෙනකු පිළිබඳ මූලික විමර්ශන කටයුතු සිදුකර ඇති බවයි. අපයෝජනයට ලක්ව ඇතැයි සැකකරන දරුවන් සංඛ්‍යාව මේ වනවිට 15 දෙනකු වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය 10 වැනි දා ඉන් ළමයි තිදෙනකු සම්බන්ධව වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අද දිනයේ ළමයින් 05 දෙනකු සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා ඉදිරිපත් කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
විමර්ශනය මෙහෙයවූ පොලිස් නිලධාරීන් පවසන්නේ සැකකරුවාගේ පාර්ශවයෙන් එම ළමයින්ට දිගින් දිගටම බලපෑම් එල්ලවන බවයි. මෙම සැකකරු විකෘති මානසිකත්වයකින් පෙළෙන්නේ නම් ඔහු නැවත සමාජ ගත කිරීම දැඩි ගැටලුකාරී තත්වයකට හේතුවිය හැකි බැවින් ඔහු සම්බන්ධයෙන් මානසික වාර්තාවක් ලබාගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලා සිටියේය. එම කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය අංගොඩ මානසික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඔහු ඉදිරිපත් කර වාර්තාවක් ලබාගන්නා ලෙස පොලිසියට නියෝග කළේය. එමෙන් ම ඔහු විසින් ළමයින් අපයෝජනයට ලක්කර ඇති ස්ථානයන්ට ගෙනගොස් ස්ථානීය වාර්තා ලබා ගැනීමට ද නියෝග කරන ලදී.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න කියා සිටියේ මෙම අවස්ථාවේ දී සැකකරු වෙනුවේන තමන් ඇප ඉල්ලා නොසිටන බවයි. නමුත් පරීක්ෂණ කඩිනමින් අවසන් කරන ලෙස ඉල්ලා සිටින බව ද නීතිඥවරයා අධිකරණය හමුවේ කීවේය.