-2.5 C
New York

තෙල් පෝළිමේ දී බල්ලකුගේ සපා කෑමට ලක්වූ පුද්ගලයෙක් ජලභීතිකාවෙන් මරුට

Published:

තෙල් පෝළිමක සිටිය දී බල්ලෙකුගේ සපා කෑමට ලක් වූ පුද්ගලයෙක් ජලභීතිකා රෝග ලක්ෂණ සහිතව මියගොස් ඇතැයි පානදුර මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක පී.එස්.මාධව ප්‍රෙම්නාත් පවසයි.

ඔහු මියගොස් ඇත්තේ බල්ලාගේ සපා කෑමෙන් දින 36කට පසුවය. එම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය ඊයේ 22 සිදුකර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර දිබ්බැද්ද අක්කර 18 වත්තේ පදිංචි වඩුගේ ක්‍රිෂාන්ත ප්‍රනාන්දු නමැති 42 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

පසුගිය ජූලි මස 16 වැනි දා ඔහු වලාන ඉන්දන පිරිවුම්හලේ පෝළිමට ගොස් ඇති අතර දින තුනක් එහි රැඳී සිටියේය. 20 වැනි දා රාත්‍රී ඔවුන් සිටි තැනට  කඩා වැදුණු සුනඛයෙක් පුද්ගලයන් දෙදෙනකු සපා කා තිබේ. බල්ලාගේ සපාකෑමෙන් සිදුවූ තුවාල සහිතව නිවසට පැමිණි පසු පානදුර රෝහලට ගොස් තුවාලවලට ප්‍රතිකාර ගෙන තිබේ. මියගිය පුද්ගලයා තම බිරිඳට පවසා ඇත්තේ බල්ලා තමා ඇද්ද විට බිම වැටීමෙන් හිස තුවාල වූ බවයි.

පසුව සාමාන්‍ය පරිදි තම කටයුතු කරගෙන සිටි ඔහු දින කිහිපයකට පෙර හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළුණු බවත්, තද හිසේ කැක්කුමක් ඇති වූ බවත් බිරිඳ පවසයි.

ඉන් දවස් එකහමාරකට පසු වතුර දකින විට අධික බියට පත්වූ ඔහු නිවසේ විදුලි පංකාව ක්‍රියාත්මක කිරීමේ දී ද බිය වූ බවත් පවසා තිබේ. එන් පසු ඔවුන් බෞද්ධ විහාරස්ථානයකට සහ දේවාලයකට ගොස් පූජා පවත්වා තිබේ. ඒ සියල්ලෙන් සුවයක් නොලැබුණු විට 21 වැනි දා රාත්‍රී රෝහල්ගත කළ ද ඊයේ උදෑසන ඔහු මියගොස් තිබේ.

Related articles

Recent articles

spot_img