spot_img
spot_imgspot_img

සෞඛ්‍ය ඇමතිනිය හා ඇමතිවරු මුට්ටි දමද්දී සෞඛ්‍ය සේවාවේ මුට්ටිය බිඳෙයි ද ?

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ මර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු ඇතුළු විශේෂඥයන් විසින් උපදෙස් ගණනාවක් ලබා දී තිබිය දී සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසක් කල කිහිපයක් ගංඟාවලට දමා කොරෝනා වසංගතය දුරු කිරීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳ mawratanews.lk වෙබ් අඩවිය වීඩියෝ සාක්ෂි සහිතව කරුණු සඳහන් කර ඇත.

රාජකීය වෛද්‍යවරයා ලෙස හඳුන්වාගන්නා ඒලියන්ත වයිට් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන බවත් තමන්ට කොරෝනා සුව මර්ධනය කළ හැකි බවත් පසුගිය දිනවල කියා සිටියේය. මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ වයිට්ගේ උපදෙස් මත බව ද මව්රට වාර්තා කරයි.

ඒලියන්ත වයිට් බලපිටියේ කොක්දූව ප්‍රදේශයේ දී මාදු ගඟට කලයක් දමන වීඩියෝ දර්ශනයක් ඇති අතර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැන් කලයක් රත්නපුරයේ දි කළු ගඟට මුදාහරින්නීය. අමාත්‍ය උදය ගම්මන්පිල කොළඹ දී කැලණි ගඟට කලයක් මුදාහරින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනයක් ද ඇත. අනෙක් දර්ශනයෙන් පෙනෙන්නට ඇත්තේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කොළඹ දී කැලණි ගඟට කලයක් මුදාහරින ආකාරයයි.

මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවල මැතිඇමැතිවරුන්ටද මේ අයුරින්ම පැන් කළ ලබා දී අදාළ ප්‍රදේශවල ඇති ගංගා ඇල දොළවලට මුදාහරින ලෙස දැනුම් දීමක් කර ඇති බවද දැනගන්නට ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශය සියලු ආගමික සිද්ධස්ථානවලින් ඉල්ලා සිටියේ කොරෝනා මර්ධනය සඳහා දෛනිකව රතන සූත්‍රය ඇතුළු පිරිත් සජ්ජායනා, ආශිර්වාද පූජාවන් හා දේව මෙහෙය හා යාඥා පවත්වන ලෙසයි. මේ අතර හෙලිකොප්ටර් යානා යොදාගනිමින් පිරිරත් පැන් ඉසින දර්ශන ද පසුගිය දා ප්‍රචාරය කෙරිණි.

කෙසේ වෙතත් ආගමික විශ්වාසය යනු කෙනෙකුගේ මනස සුවපත් කරන්නා වූ ක්‍රියාවලියක් බැවින් තම තමන් අදහන්නා වූ ආගමික විශ්වාසයන්ට අනුව කටයුතු කිරීම ඔවුන්ගේ පෞද්ගලික කාර්යයකි. මිනිසා සංස්කෘතික ගතවීම ආරම්භයේ සිට පැවති මේ විශ්වාසයන්හි සත්‍ය අසත්‍යතාව හෝ ඵලදායී තාව ප්‍රශ්න කිරීම මෙහි අභිප්‍රාය නොවේ.

එසේ වුව ද සෞඛ්‍ය ඇමතිනිය ඒලියන්ත වයිට්ගේ මුට්ටිය ගඟට දමා බලන්නේ මුට්ටිය දැමීමෙන් කොරෝනා මර්ධනය කළ හැකි ද කියා විය යුතුය. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ එහි ඇති අභ්‍යන්තර අර්බුද හේතුවෙන් කොරෝනා දෙවැනි රැල්ල පාලනය කිරීම දැඩි සේ ප්‍රමාද සහ අවුල් සහගත වෙමින් තිබෙන බවයි.

දෙවැනි රැල්ල ආරම්භවන විට ස්ථිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු සිටියේ නැත. එබැවින් එම ධූරය සඳහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු අතර තඟයක් නිර්මාණය වී තිබිණි. හමුදාවේ මේජර් ජනරාල්වරයකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරය දරන බැවින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් පුද්ගලයන් ඔහුට අවශ්‍ය සහයෝගය ලබාදීම හිතාමතා මඟහරින බව ද අමාත්‍යාංශයේ ම නිලධාරීහු කියති. මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ රෝහල් කිහිපයක්ම ස්ථිර රෝහල් අධ්‍යක්ෂවරු නොමැතිව පාලනය වෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම් ද එල්ලවීමත් සමඟ තවදුරටත් සිවිල් රෝහල් පරිපාකයන් අතර ගැටුම් නිර්මාණය වන්න් යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ම මැදහත් මතධාරී නිලධාරීහු කියති.

පසුගිය දා කොළඹ කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙස පත්කෙරිණි. ඉතා දක්ෂ පරිපාලකයකු ලෙස කීර්තියක් දිනා සිටි ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කළ අයකු නොවී පිටිතින් පැමිණීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් ඔහුට අවශ්‍ය සහයෝගය ලබාදීමෙන් හිතාමතා ම මඟහැරීම හෝ වැළකී සිටීමට හෝ කටයුතු කරන බව වාර්තාවෙයි.

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය කරනු ලබන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරමින් හැකිතාක් පීසීආර් පරීක්ෂණ සිදුකිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දැඩි අවධානයක් යොමුකර තිබුණ ද ඒ සඳහා අවශ්‍ය උපකරණ හා රසායනාගාර ද්‍රව්‍ය ගෙන්වාගැනීම කාර්යක්ෂමව සිදුවන බවක් පෙනෙන්නට නැත.

එසේ ම වැඩිවන රෝගීන්ට අනුරූපව රෝහල් පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කල්තියාම දැනුම් දී ඇතත් ප්‍රාදේශීය වශයෙන් සිටින රෝහල් අධ්‍යක්ෂවරු හා වෛද්‍ය අධිකාරීවරුන්ට ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ශාඛා හා රෝහල් සේවකයන්ගෙන් ලැබෙන්නේ ඉතා අල්ප සහයෝගයකි. නැතිනම් බාධා කිරීම්ය.

මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ හෝමාගම රෝහලයි. පළමු රැල්ලේ දී හෝමාගම රෝහල කොරෝනා රෝහලක් බවට පරිවර්ථනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබුණ ද පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන ඇතැම් වෛද්‍යවරුන්ගේ බලපෑමෙන් දෙවැනි රැල්ලේ දී එය යළි කොරෝනා ප්‍රතිකාර සඳහා වෙන්කිරීමට දැඩි බාධාවක් එල්ල වී තිබිණි. ඒ ඔවුන්ගේ චැනල් සේවාවට රෝගීන් පැමිණීම අඩුවනු ඇතැයි ඇතිවූ බිය හේතුවෙනි.

මේ සියල්ලේ ප්‍රතිඵලය වී ඇත්තේ දිවයින පුරා කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් නොමැති තත්ත්වයක් උදාවී තිබීමයි.

නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමෙන් පසු මේ ගැටලු රැසක් නිරාකරණය වනු ඇතැයි බලාපොරොත්තු වුව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අනෙකුත් වෘත්තීය සමිතිවල බලපෑම්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය නතුවීමේ ප්‍රතිඵලයක් ලෙස අමාත්‍යාංශයේ සිවිල් පරිපාලන කටයුතු සහ රෝහල්වල පරිපාලන කටයුතු පවා ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වාදෙයි.

වත්මන් ජනාධිපතිවරයා ඇතුළු රජය බලයට ගෙන ඒම සඳහා සුවිශාල කාර්යයක් ඉටුකළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක විරෝධතාව මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට එල්ල වෙමින් පවතී.

සෞඛය ආමාත්‍යාංශයේ පීසීආර් කටයුතු සිදුකිරීමේ වගකීම දැරූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ද පසුගිය දා එම ධූරයෙන් ඉවත් කර තිබිණි. මේ සියල්ල සිදුවන්නේ අභ්‍යන්තරයේ ඇති වියවුල් සහගත තත්ත්වය හේතුවෙන් බවට අටුවා ටීකා අවැසි නැත.

සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු රජයේ මැති ඇමැතිවරු රට පුරා ඇති ගංඟාවලට මුට්ටි දමා කොරෝනා තුරන් කිරීමට උත්සාහ ගත්ත ද පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට, ශ්වසන උපකරණ ගෙන්වීමට, සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂිත උපකරණ ලබාදීමට, දැඩි සත්කාර සේවා ඇතුළු සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ගැන සඳහන් වන්න් සුළු වශයෙනි. හෙද වෘත්තීය සමිති ද පසුගිය දිනක වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වූයේ මෙවන් ගැටලුවලට විසඳුමක් නොලැබෙන බව පවසමිනි.

සමස්ථ ලෝකයම විද්‍යාත්මක සංසිද්ධීන් පීළිබඳ විශ්වාසය තබා කොරෝනා මර්ධනය කිරීමේ සටනට අවතීර්ණ වී සිටිය දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු රජයේ ප්‍රධාන අමාත්‍යවරු ගඟට මුට්ටි දමා කොරෝනා මර්ධනය කරන්නට කටයුතු කරති.

ජනතා සංවාදයට විවෘතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!