නීතිය නොදන්නා තංගල්ල පොලිසිය මාධ්‍යවේදී දයා නෙත්තසිංහ අගෝස්තු 23 වැනි දා අනීතික ලෙස පොලිසියට කැඳවා ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා චෝදනා කරයි.
දයා නෙත්තසිංහ ශ්‍රී ලංකාවේ පිළිගත් ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි. ජාතික මට්ටමේ පුවත්පත්, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ද සිය මාධ්‍ය කටයුතුවල නිරතවන ඔහු පසුගිය දා පුද්ගලයකු රියඅනතුරකට ලක්කර එය නීතියෙන් සැඟවීමට චීවරධාරියකු සහ තවත් පුද්ගලයකු ගත් උත්සාහයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර තිබිණි.
එම අනාවරණයෙන් පසු ඔහු තර්ජනාත්මකව කතා කළ පුද්ගලයකු එම සටහන facebook වෙතින් ඉවත්කරගන්නා ලෙසත් එසේ නොකරන්නේ නම් පොලිසියේ දී බලා ගනිමු යනුවෙන් ද පවසා ඇත. මෙය නීතිය අයුතු ලෙස භාවිතා කිරීමේ තර්ජනයක් බව මාධ්‍යවේදීන් සළකයි.
දයා නෙත්තසිංහ පවසන්නේ තංගල්ල පොලිසියේ 047 2240222 දරණ දුරකථනයෙන් කිසියම් නිලධාරියකු තමන් අමතා අගෝස්තු 23 වැනි දා පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි. එම කැඳවීමට හේතුව රිය අනතුරක් සිදුකර පුද්ගලයකු ආබාධිත තත්වයකට පත්කිරීමෙන් අනතුරුව සැඟවී සිටින තැනැත්තෙකු සහ ඊට ආධාර අනුබල දුන් චීවරධාරියකු පිළිබඳ කරන ලද අනාවරණයක් බව දයා නෙත්තසිංහගේ අදහසයි.
මෙවැනි දෙයකට මාධ්‍යවේදියා පොලිසියට කැඳවීමට නෛතික බලයක් නැත. 2002 වර්ෂයේ දී සාපරාධී අපහාස නීතිය සංශෝධනය කර ඇත. එබැවින් පැමිණිලිකරුට යම් අපහාසයක් සිදුවූවානම් ඔහු කළ යුත්තේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා තමන් අපේක්ෂාකරන සාධාරණත්වය ඉල්ලා සිටීමයි. පොලිසියට ඊට මැදිහත්වීමට ප්‍රතිපාදන නැත.
එමෙන් ම සමාජයට වගකියන, වගවන සිය මාධ්‍ය භාවිතය සමාජයෙ ප්‍රගමනය උදෙසා යෙදා ගැනීමේ වෘත්තියේ නිරත මාධ්‍යවේදියකුගෙන් ඔහුගේ සටහන් පිළිබඳ ප්‍රශ්න කිරීමට ද සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට ද පොලිසියට හැකියාවක් නැත. ඒ සම්බන්ධයෙන් පුවත්පත් පැමිණිලි කොමිසම, පුවත්පත් මණ්ඩලය වැනි ආයතන ස්ථාපිත කර තිබේ. පුවත්පත් මණ්ඩලය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට ද යම් විවේචනයක් ඇතත් එය ක්‍රියාත්මක වන්නේ අධිකරණමය ක්‍රියාවලියක් අනුවය.
දයා නෙත්තසිංහ විසින් ෆේස්බුක් සටහනක් තැබීම මාධ්‍යවේදියකු පමණක් නොව පුරවැසියකු ලෙස ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම ඔහුට හිමිව ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භාවිතා කිරීමකි. එය අපරාධමය වරදක් නොවේ. පොලිසි කළ යුත්තේ රිය අනතුර ගැන පරීක්ෂණ පැවැත්වීම මිස එහි කරුණු හෙළිදරව් කරන අහිංසක මිනිසුකු මුහුණ පා සිටින තත්වය රටට කියන මාධ්‍යවේදියා දඩයම් කිරීම නොවේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ නීතිඥ අජිත් රෝහණ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මේ වනවිට කටයුතු කරයි. ඔහු වැනි නිලධාරියකු දකුණේ සියලු පොලීසි භාරව සිටිය දී තංගල්ල පොලිසිය අනීතික කටයුතුවල යෙදීම නම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය.