“ගෝඨා ගෝ හෝම්” සටන් පාඨය සමඟ සියලු දෙනා එක්ව සිටිය ද ගෝඨා ඉල්ලා අස්වූ පසු සිදුවන දේ දැන සිටියේ නැතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය පවසන්නේ ඒ සම්බන්ධයෙන් සියලු දෙනාට එකඟතාවකට එළඹීමට නොහැකි වූ බවයි. එය අරගලයේ පැවැති දුර්වලතාවක් බව ද ඇය පෙන්වාදෙයි.
කෙසේ වෙතත් හරිනි අමරසූරිය පවසන්නේ පවතින තත්වය තීරණාත්මක ලෙස වෙනස් කිරීමට නම් ගෝඨාභය ගෙදර යැවීම පමණක් නොව පාර්ලිමේන්තුවේ සංයුතිය ද වෙනස් විය යුතු බවයි.
ඇය එසේ කීව ද ආචාර්ය හරිනි අමරසූරිය යනු වර්තාමනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක. සෑඹ මන්ත්‍රීවරයකු ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පවතින නීතියට අනුව කටයුතු කිරීමට බැඳී සිටියි.
ජනාධිපතිවරයකු ඉල්ලා අස්වුවහොත් හෝ හිදිසියේ ධූරය හිස් වුවහොත් වැඩබලන ජනාධිතිවරයකු සහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කරගැනීම සිදුකරන ආකාරය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එය දැන සිටිය යුතුය. ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වුවහොත් සිදුවන දේ දැන සිටියේ නැතැයි ආචාර්ය හරිනි අමරසූරියට ප්‍රකාශ කළ හැකි ද යන්න ගැටලුවකි.
එමෙන්ම ඇය තවදුරටත් පවසන්සේ පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් විය යුතු බවයි.
පාර්ලිමේන්තුවේ සංයුතිය යනුවෙන් අදහස් කළ හැකි කාරණා දෙකක් තිබේ. එකක් නම් දැනට සිටින මන්ත්‍රීවරු 225 දෙනා වෙනස් කිරීමයි. ඒ සඳහා පාර්ලිමේන්තු මැතිවරණයකට යාමේ ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ තිබේ. ජනාධිපතිවරයාට දැන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නොහැකි බැවින් කළ හැකි එකම දේ නම් හරිනි අමරසූරියට පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිය. එය 2/3කින් සම්මත කරගැනීමෙන් පසු අදාල සංයුතිය වෙනස් කිරීමේ අවස්ථාව ජනතාවට හිමිවෙයි.
අනෙක් සංයුතිිය වෙනස් කරන ක්‍රමයනම් ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සංඛ්‍යාව, පත්වන ආකාරය, පත්වන මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, වයස ආදිය තීරණය වන නිර්ණායක සහිත සංශෝධනයක් කිරිමයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එයට සංශෝධන එකතු කිරිම හෝ වෙනත් සංශෝධනයක් ගෙන ඒමේ අවස්ථාව හරිනි අමරසූරිය ඇතුළු ජාතික ජන බලවේගයට ද තිබේ.
ඇය පවසන පරිදි ගෝඨාභය අයින් වුණාම සිදුවන දේ දැනගෙන හිටියේ නෑ යනුවෙන් කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකිය. සිදුවන සියල්ල සහ සිදුකළ හැකි සියල්ල ලේඛන ගත වී තිබේ. ඉන් පරිබාහිර යමක් කරන්නේ නම් නීත්‍යානුකූළව එවැන්නක් කරන ආකාරය ද සඳහන් කර ඇත.