spot_img
spot_imgspot_img

පුංචි කුරුල්ලා (විශ්ව සාහිත්‍යයෙන්)

පුවත්

විදෙස්

ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ ලේඛිකාවක වන මීනා කොකෝද්කාර් විසිනි (1944) දී රචනා කරන ලද්දකි.

ඇය කොත්කානි භාෂාවෙන් කෙටිකතාකරණයෙහි නිරත ලේඛිකාවකි. මානව දයාව සහ අනුකම්පාව ඇගේ බොහෝ කෙටිකතාවලට තේමාවී ඇත. ජීවිතය පිළිබද අපුරු නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමට ඇය සමත් වී ඇති බව විචාරකයෝ පවසති.

මීනා කොකෝද්කාර්

මගේ මව මියගොස් දින දෙකක් ගත වී ඇත. මම ඇය ගැන කල්පනා කරමින් දිගටම වැළපෙන්නට වීමි. මගේ පියා හිසෙහි අත තබාගෙන සියල්ල අහිමි වී ගිය ආකාරයට ශෝක වෙයි. මම ඔහු දෙස බලමින් මගේ මව ගැන වැඩි වැඩියෙන් සිතන්නට වීමි. සෑම රාත්‍රියකම් මම මගේ මවගේ උණුසුමට තුරුළුව සිටියෙමි, පසුගිය රාත්‍රී දෙකෙහි සුරංගී පැමිණ මා ඇගේ පැල්පතට රැගෙන ගියාය. මම පුංචි කුරුල්ලෙකු මෙන් ඇගේ ඇකයේ උණුසුම් වීමි. එහෙත් රාත්‍රී කාලයේ ම මගේ පියා පැමිණ මා රැගෙන අපගේ පැල්පතට ගියේය.

මා රැගෙන යාමට සුරංගී පැමි ණෙන විට හෙතෙම මෙසේ කීවේය.

“එයා මෙහෙ හිටපුදෙන්. මම තනියම ඉන්නකොට අපේ පැල්පත මාව ගිලදාන්න ඉන්නවා වගේ දැනෙනවා “

මම සුරංගී සමග යාමට ප්‍රිය කෙළෙමි එහෙත් නිහඬව සිටියෙමි. මම තනිවම ඇඳට ගොස් ටික වෙලාවක් වැළපුනෙමි මට දැඩි තනිකමක් දැනිණි. මම අඳුරේ අතපත ගාමින් මව සෙවීමි. එහෙත් පලක් නොවිය. මගේ පියාට ඇමතීමට සුදානම් වෙද්දී මට ඔහුගේ කටහඬ ඇසිණ. සමහර විට ඔහුටත් මගේ මව අහිමි වීමේ වේදනාව දැනෙනවා වෙන්නට ඇත. මම මගේ මව ඉල්ලා ඉකි බින්දෙමි. මම වැලපෙමින් පියාගේ ඇඳ මත සටියෙමි. හේ මාව සිය ළමැදට තබා තුරුළු කර ගත්තේය. මම ඔහුව බදා ගතිමි ඔහුගේ කඳුළු මගේ තෙත් මුහුණ මත ගලා ගියේය. මගේ මව මෙන් මාව පිටිඳිමින් සැනසීමට හේ උත්සාහ කළේය.

පසු දිනයේ නැන්දා පැමිණියාය. ඕ මා තුරුළු කරගෙන තදින් වැලපුනාය. මම ඇගේ තුරුලේ මුහුණ සඟවාගෙන ඉකිබිඳින්නට පවන් ගත්තෙමි. නැන්දාගේ සාරියේ මල්වලින් මිහිරි සුවඳක් වහනය වෙයි. අම්මාගේ සාරිවලින් දැනෙන්නේ දුම් ගඳකි. මම එම සුවඳට ප්‍රිය කෙළෙමි. නැන්දාගේ සාරියෙනුත් ඒ මට හුරු පුරුදු සුවඳ විඳින්නට මම ආශා කෙළෙමි.

මවගේ මරණය පිළිබඳව කල්වේලා ඇතිව නොදැන්වීම පිළිබඳව නැන්දා මගේ පියාට දොස් පැවරුවාය. වැලපීම නිසා ඇගේ මුහුණ රත් පැහැ ගැන්වී ඇත. නැන්දාගේ හැඩරුව අම්මාගේ මෙන් නොවේ. මගේ අම්මා කළු පැහැයෙන් යුත් තැනැත්තියකි. නැන්දා පැහැ පත් සිරුරින් යුතුවූවාය.

සවස් යාමයේ නැන්දා මගේ පියාට මෙසේ කීවාය.

“මම රාග්ලෝවා මාත් එක්ක එක්ක යනවා. ඔයාට බැහැ දරුවව හොඳින් බලා ගන්න.”

මගේ පියා නිහඬව සිටියේය. “ඔයා වැඩට ගියහම රාග්ලෝවට තනියම ඉන්නයි සිද්ද වෙන්නේ. එයා ගැන කවුද බලන්නේ?”

“පුතාව ගෙනිච්චහම මම කොහොමද තනියම ඉන්නේ?”

“ඔයා පිරිමියෙක් ඔයා වැඩ කරන කොට ඔයාගේ අවධානය වෙනතකට යොමුවෙයි. ඒත් ළමයට දුක් විඳින්නයි සිද්දවෙන්නේ”  මම ඔවුන්ගේ මුහුණ බලමින් සිටියෙමි

මට යාමට අවශ්‍ය විය. ඒ සමගම පියා සමග නතර වීමටද අවශ්‍ය විය. අන්තිමේ මගේ පියා කලිසම් කමිස ඇතුළු මගේ ඇඳුම් බෑගයක ඇසිරුවේය.

“රාගු පුතා, නැන්දත් එක්ක යන්න.” මහු මට නැන්දා සමග යන ලෙස කීවත් එය මා නොපැතුවක් බව මට හැඟිණි. මගේ පියා මට බොහෝ සෙයින් ආදරය කරයි. හේ නිතරම මාළු ඇල්ලීම සඳහා මාව බෝක්කුව වෙත රැගෙන යයි. තාත්තා අල්ලාගෙන එන මාළු අපේ අම්මා උදුනේ තබා බදියි.

සෙනසුරාදා දිනය අපේ ප්‍රදේශයේ වෙළෙඳ පළ පැවැත්වෙන දිනයයි. මගේ පියා වෙළෙඳ පළේ දී කඹ සහ ලණු අලෙවි කරයි. සමහර අවස්ථා වල ඔහු මා කැටුව යයි. දවල්වන විට මගේ පියා කුඩය දිගහරියි. අපි ආඩම්බරයෙන් ඒ යටට වී සිටිමු. මගේ පියා මට රටකජු ගෙනවිත් දෙයි.

එදත් සෙනසුරාදාවකි. එහෙත් මගේ පියා වෙළෙඳ පළට නොගියේය. මව මියගිය දින සිට හේ අමුතු මිනිසෙකු වී ඇත. අපේ පැල්පතද වෙනස් වී ඇත. මම අසහනයටත් අපහසුවටත් පත්ව සිටිමි.

“තාත්තෙ, තාත්තත් අපිත් එක්ත එන්න”

“විකාර, පුතා මුලින් යන්න”

“තාත්ත එන්නෙ කවද්ද? “

“මම එන්නම්”

“ඒත් ඒ කවද්ද ?”

“මම දවසක එන්නම්”

“ඉක්මනින් එන්න”

මගේ තාත්තා පිළිතුරු නොදුන්නේය. මම නැවතත් විමසුවෙමි. හේ හිස සැලුවේය. නැන්දාගේ ඇඟිල්ලක එල්ලී මම අපේ පැල්පතෙන් පිටවීමි මගේ පියා දොරකඩ අසළට පැමිණ අප යන දෙස බලා සිටියේය. මම නැවත නැවතත් ආපසු හැරී බැලුවෙමි. තාත්තා සිටි තැනම ‍නොසෙල් වී සිටී.

අප උත්තමාගේ සාප්පුව පසු කළ විට අපේ පැල්පත් සහ මගේ පියා නොයෙක් හීයේය. නැන්දාගේ ඇගිල්ලෙන් මිදී ආපසු පියා සොයා යාමට මට සිතිණ. මා ඇගේ. අතින් මිදුනත් ඕ මගේ අත තරයේ අල්ලා ගත්තය.

“රාගු ඔයා හොඳ ළමයෙක් එහෙම නේද ?” ඕ කීවාය. හිස සැලූ මම නිහඬවම ඇය සමග ගියෙමි.

“අපි දැන් බස් එකේ යමු”

වරක් මව පියා සහ මම සල්පිලකට ගියෙමු එවිට අපි බස් රියකට නැගුනෙමු එහි මෘදු ආසන මගේ සිත් ගත්තේය. මගේ ඇස් සතුටින් පිරුණි. මට මෙවරත් සතුටක් දැනිණ. මම නැන්දාගේ ඇඟිල්ල තරයේ අල්ලා ගතිමි.

නැන්දාගේ නිවස අපේ පැල්පතට වඩා විශාලය එදින රාත්‍රියේ විශාල වැස්සක් කඩා වැටුණද එහි වහලින් වතුර නොවැටිණ. වැස්ස වෙලාවට අපේ නිවසේ වහලයේ බොහෝ තැන්වලින් වතුර බේරේ. මගේ පියා වහලයට නැග වහලයේ සිදුරු පිළිසකර කරයි. එවිට මගේ මව හෝ මම චිමිනි ලාම්පුව ඉහ ළට ඔසවා මගේ පියාට උපකාර වන්නේ

“මෙහෙනුත් තෙමෙනවා. මෙන්න තැන.” යනුවෙන් අපි කීවෙමු.

අද රාත්‍රියේ වැසි වැටෙන විට විමිනි ලාම්පුව ඔසවා අපේ තාත්තාට උපකාර කරන්නේ කවුද ? මම නැන්දාගේ තුරුලේ සිටිමින්ම කල්පනා කළෙමි.

” නැන්දේ”

“හොඳ දරුව වගේ නිදා ගන්න.” නැන්දා මාව තරයේ වැළඳගෙන මුදු ලෙස මගේ පසුපසට තට්ටු කළාය. මට ඇගේ සාරියේ සුවඳ දැනේ එය මගේ හුස්ම සිර කරයි. මගේ මවගේ සාරියෙන් නැගෙන දුම් ගඳට මම වඩා කැමැත්තෙමි, සුරංගීගේ සාරියේ ඇත්තේද මගේ මවගේ සාරියේ මෙන්ම දුම් ගඳකි. මේ සිතිවිලි මගේ මනසේ හොල්මන් කරද්දී මම නැන්දගේ අතේම නින්දට වැටුණෙමි.

නැන්දා මාව අලුත් පාසලකට ඇතුළු කළාය. එහෙත් මම මගේ පැරණි පාසලට කැමැත්තෙමි. අපේ පරණ පාසලට විරුද්ධ පැත්තේ විශාල නුග ගසක් විය. අපි එහි අතු පතර එල්ලී මංචිලි පැද්දෙමු එමෙන්ම අපි වඳුරන් මෙන් ගසට නැග බැස්සෙමු අලුත් පාසල අසළ විශාල සියඹලා ගසක් ඇත. අපි සාක්කු පිරෙන්නට සියඹලා එකතු කළෙමු. මගේ සාත්තු පිරෙන විට මට මගේ මිතුරන් වූ සිරි සහ පීටර් සිහියට නැගේ.

අපේ පැල්පත ආසන්නයේ කුඩා දිය පාරක් ඇත. මගේ පියාත් මාත් නිතරම එහි ගියෙමු. එහෙත් නැන්දාගේ නිවස අසළ එවැනි දිය පාරක් නැත. ඇත්තේ ළිඳකි. කඹයෙන් සර සර හඬක් නැගෙද්දි ලිඳෙන් වතුර ඇද නැන්දා මගේ හිස මත ජලය වත් කළාය. අනතුරුව මගේ සිරුර පුරාම සබන් ඇතිල්ලුවාය.  ගෙදරදී මම තනිවම ස්නානය කළෙමි.

මාව නෑවීමට මගේ මවට ඉඩ නොදුන්නෙමි මම පුංචි ළමයෙකු නොවෙමි එහෙත් නැන්දා කිසිවිටක මට සවන් නොදුන්නාය. ඒ නිසා මම කෝපයෙන් සිටියෙමි.

“අවුරුදු අටක් වයස අශ්වයෙක් වගේ ඒත් නාන්නේ කපුටෙක් වගේ. කිලූට කොල්ලා” කියමින් ඇය මගේ සිරුරේ සබන් ගා තදින් ඇතිල්ලුවාය. බැබළුණු සබන් පෙණවලින් කොටසක් මගේ ඇස්වලට ගොස් දැවිල්ලක් හටගත්තේය. නැන්දාව සීරීමට මට සිතුනත් මම එසේ නොකළෙමි. එහෙත් මගේ මව මා පිරිසිදු කරන අවස්ථාවලදී නම් මම එසේ කළෙමි.

පියාත් සමඟ ගඟට ගිය අවස්ථාවල දී නම් අපි එකිනෙකාට ජලය විසිකර ගත්තෙමු. ඒ සියල්ල සිදුවන විට මට තාත්තා සොයා ආපසු යාමට සිත්වේ. නැන්දා මගේ හිස පීරන විට මම අතීත මතකයන් සිහිපපත් කරමින් නිහඬව සිටියෙමි.

නැන්දාට ඇගේ ම දරුවන් නැත. ඇගේ නිවසේ සිටියේ තිදෙනෙකු පමණි. මාමා නැන්දා සහ ඇගේ මවයි. අසල් වැසියන් අතරත් මගේ වයසේ මිතුරන් නොවීය. වැඩිහිටි ළමයි ඔවුන් සමග ක්‍රීඩා කිරීමට මට ඉඩ නොදුන්හ. නැන්දා ඇගේ සියලු වැඩ කටයුතු නතර කර මා සමග වීදුරු බෝල ක්‍රීඩාව කළාය. ඇය එම ක්‍රීඩාවේ දක්ෂ තැනැත්තියකි. එක වීදුරු බෝලයක් උඩට විසි කරන අතර අනෙක් වීදුරු බෝලය බිම සිට අහුලා ගනී. උඩට විසි කළ වීදුරු බෝලය බිමට වැටෙන්නට පෙර අල්ලා ගන්නටද ඇය සමතියකි. ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රීඩාවද අපට සතුට ගෙන දුන්නේය. මා ඇය රවටා ජයග්‍රහණය කරන බව ඇය කිසිවිටක වටහා නොගත්තාය. මා තරගයෙන් දිනූ විට

“මගේ අපූරු කොල්ලා”  කියමින් ඕ මාව වැළඳ ගන්නීය. මා පාසලට යන විට නැන්දා මිදුලට වී බලා සිටින්නීය.

“රාගු, ප්‍රවේසමෙන් යන්න “

” ඔව්. නැන්දා මම එසේ කියමින් සියඹලා ගස ගැන සිතමින් පාසල වෙත දිවයමි. පාසලට යන පාරේ විශාල වංගුවකි. එතනම විශාල අඹ ගසකි. එම ස්ථානයට ළංවූ විට මම ආපසු හැරී නැන්දාට අත වනමි. අනතුරුව කෙළින්ම සියඹලා ගස යටට දිවයමි. මා අත වනන තුරු නැන්දා බලා සිටින්නීය. වරක් පාසලට යන අතරතුර මට නැන්දාට අත වැනීමට අමතක විය. පාසල් ගොස් ආපසු පැමිණි විට ඕ මෙසේ කීවාය.

“රාගු අද ඔයා මට අත වැනුවෙ නැහැනෙ”

” කවද්ද නැන්දෙ ?”

“ඉස්කෝලෙ යන කොට “

” ආහ් ! මට මතක නැතිවුණා.”

“කොහොමද මතක නැතිවුණේ රාගු ඔයා ඔයාගේ නැන්දට ආදරේ නැහැ. නැන්දා ගැන හිතන්නේ නැහැ. මම මෝඩියක් වගේ ඔයාට ආදරෙයි.” නැන්දාගේ ඇස් කඳුළින් පිරි ඇත. මට කණගාටු සිතිණ. මා ආපසු හැරී නොබැලීම නිසා ඇය මෙතරම් දුක්වන්නේ ඇයි? එහෙත් එදින පටන් මම ආපසු හැරී ඇයට අතවැනීමට අමතක නොකළෙමි.

සෑම රාත්‍රියකම නින්දට යද්දී නැන්දා මට සුරංගනා කතාවක් කියා දුන්නාය. එදින රාත්‍රියේ ඕ පුංචි කුරුල්ලකු ගැන කතාවක් කීවාය.

“එකමත් එක කාලෙක පුංචි කුරුල්ලෙක් එයාගෙ අම්මත් එක්ක හිටියා. ටික දවසකින් අම්මා මැරුණා. පුංචි කුරුල්ලා කුඩුවේ තනිවුණා. ඒ පුංචි කුරුල්ලට නැන්ද කෙනෙක් හිටියා. ඒ නැන්ද කුරුලු පැටියව තමන්ගෙ තුරුල්ලට ගත්තා. ඇය පුංචි කුරුල්ලට ආදරය කළා. කෑම බීම ගෙනවිත් දුන්නා.”

“නැන්දෙ, කුරුලු පැටියගෙ නැන්දට එයාගෙම පැටවු හිටියෙ නැද්ද?”

“නැහැ රාගු දෙයියා ඇයට් යාප කරල”

“ඒත්කොට පුංචි කුරුල්ලගෙ නැන්ද එයාව හදා වඩා ගත්තා. ඇය පැටියට මුළු හිතින්ම ආදරය කළා .ඇය ඒ පැටියට සැලකුවේ තමන්ගේ ම පැටියෙක් හැටියට ඒ පැටියට ඉගිල්ලෙන්න ඉගැන්නුවා, පුංචි පැටියා ඉක්මනටම ඉගිල්ලෙන්න ඉගෙන ගත්තා පුංචි කුරුල්ලා සන්තෝෂෙන් පියාඹන කොට නැන්දා හුඟක් සතුටුවුණා. එක දවසක් පුංචි කුරුල්ලා කූඩුවෙන් පිටතට ගිහිල්ලා ඉගිල්ලිලා ගියා. ඈතින් ඇතට ඉගිල්ලිලා ගියා. පැටියා ආපහු එනතුරු පැටියගෙ නැන්දා බලාගෙන හිටියා. එත් පුංචි කුරුල්ලා ආපසු ආවෙ නැහැ. පුංචි කුරුල්ලට නැන්දව අමතක වෙලා ඒත් නැන්දට පුංචි කුරුල්ලව අමතක වෙලා නැහැ. ඇය පැටියා එනකම් උනන්දු වෙන් බලා හිටියා. ඒ ගමන් ගීතයක් ගායනා කළා.”

” මගේ පුංචි කුරුල්ලෝ – කවද්ද ඔබ ආපහු එන්නේ. මම ඔබට ගොඩක් ආදරෙයි ඔබට ඒක අමතකද?” “ඇය කුඩුවේ වාඩිවෙලා හොඳටම ඇඬුවා

මේ කතාව කියමින් නැන්දා හැඬුවාය. ඇය හඬන බැවින් මමද හැඩුවෙමි. ඇය මා ඇගේ තුරුලට ගෙන මිහිරි හඬින් නැවතත් ගායනා කළාය.

“මගේ පුංචි කුරුල්ලෝ “

අපි ප්‍රථම වාර විභාගය අවසන් කළෙමු. එහෙත් මගේ පියා එක් වරක්වත් නොආයේ ය. සෑම විට මගේ පියාවත් මවත් නිතර සිහිපත් විය. ඉරිදා දිනවල මම නැන්දාත් සමඟ බස් නැවතුම් පොළ වෙත යාමට පුරුදුව සිටියෙමි. එක් දිනක් ඔහු ආවේය. එය නිවාඩු දිනයකි. මම මිදුලට වී තනිවම ඇට බෝල ගැසුවෙමි එක්වරම කිසිවෙකු මා අසලින් සිට ගත්තේය. මා උඩ බැලුවිට දක්නට ලැබුණේ මගේ පියායි. මම ඇට බෝල විසිකර ඔහුව බදා ගතිමි.

“නැන්දේ, නැන්දේ. තාත්තා ඇවිත්.” මම ප්‍රීතියෙන් කැගැසුවෙමි, තාත්තා මා ඔහු ළගට ඇදගෙන මගේ හිස පිරිමැද්දේය. මම බෙහෙ වින් සතුටට පත් විමි.

නැන්දා පිටතට ආවාය. අප තේ පානය කරද්දී තාත්තා මෙසේ පැවසුවේය.

“මම රාගුව අරත් යන්නයි ආවේ.”

නැන්දාගේ අතේ තිබු කුල්ල ගිලිහී හාල් සැම තැනකම විසිරි ගියේය.

“නැන්දා ප්‍රවේසම් නැති කෙනෙක්, හරියට කුල්ල අල්ල ගන්නවත් බැහැ” මම සිතුවෙමි.

“ඔයා වැඩට ගියහම රාගුට තනිවම ඉන්නයි සිද්ද වෙන්නෙ, රාගුව බලා ගන්නෙ කවුද?”

” එයා තනිවෙන්නේ නැහැ”

“ඒ කොහොමද?”

“මම ආයීමත් විවාහ වුණා.” මගේ පියා ඇස් බිමට නැඹුරු කරගෙන හෙමිහිට පැවසූවේය.

“මොන විකාරයක්ද ? පවුල මැරිල තාම හය මාසයක්වත් ගියෙ නැහැනෙ.”

” මම මො නව කරන්නද? ජීවිතය ගෙනියන්න ඕනෙ. තව කොයි තරම් කාලයක් රාගුව මෙහෙ තියල නියන්නද?”

නැන්දා කෝපවූවාය.

“එයා ගැන කරදර වෙන්ත එපා එයාට කුඩම්මගෙන් බැටකන්න දෙන්න පුළුවන්ද? මම එයාව එවන්නෙ නැහැ.”

නැන්දා කෝපයෙන් වියරු වැටුනාය. මම ඇගේ මුහුණ දෙස බැලුවෙමි අනතුරුව මගේ පියාගේ මුහුණ දෙසත් නැවතත් නැන්දා දෙසත් බැලුවෙමි මම වික්ෂිප්තභාභාව යට පත්වීමි. කුඩම්මා…………. කුඩම්මලා ගැන නැන්දා බොහෝ කතාන්දර කියා දී ඇත. කුඩම්මලා දුෂ්ඨ බව මම සහතිකවම දනිමි. මම හඬා වැටු ණෙමි, තාත්තා මාව කුඩම්මා කෙනෙකුගේ බාරයට පත් කිරීමට උත්සාහ දරයි. මට මගේ අම්මා සිහි විය. මම ඉකිගසමින් හැඬුවෙමි.

“එයා මෙයාට නොසලකා ඉන්නෙ නැහැ. ඇත්තටම එයා රාගුට ආදරෙයි.”

” මට ඔය විකාර කතා කියන්න එපා. කොහොමද ඔයා ඒ බව කලින්ම දන්නෙ?”

“එයා අපේ අසල්වැසි කාන්තාවක් රාගුට ගොඩක් ආදරෙයි.” “එයා කවුද?”

”සුරංගී ”

“සුරංගී” මම ඉකි ගැසීම නතර කළෙමි.

මොන විකාරද ? සුරංගි කුඩම්මා කෙනෙක් වන්නේ කොහොමද? ඇය සුරංගනාවියකි. ඇගේ උකුලේ නැලවෙද්දී මට අම්මාගේ උකුලේ නැලවෙන සෙයක් දැනිණ. මම සතුටින් උඩ පැන පියා වෙත ගියෙමි, තාත්තා, මම ගෙදර එන්නම්, තාත්තා සිනාමුසුව මගේ හිස අත ගෑවේය. නැන්දා කුල්ල පසෙක තබා නිවස තුළට ගියාය.

“නැන්දේ මගෙ කමිසේ කෝ? කලිසම් කෙහෙද ?” මම ඇය පසුපස දිව ගියෙමි. ඇය කුස්සියට වී සිටියාය. ඇගේ ඇස් රත් පැහැ ගැන්වී ඇත.

“රාගු ඇත්තටම ඔයා යනවද?” මා මගේ බඩු භාණ්ඩ අස්කරන බව දැක දැකත් ඇය මා ඇත්තටම යනවා දැයි විමසන්නීය. නැන්දාට විකාර.. මම නිකම්ම හිස සැලුවෙමි.

“මහෙ ඉන්න කැමති නැද්ද ? “

මම නැන්දාගේ නිවසට කැමැත්තෙමි. එහෙත් තාත්තා සමග යාමට ඊටත් වඩා කැමැත්තෙමි. මම ඒ බව ඇයට කීවෙමි.

“මම මොනතරම් මෝඩියක්ද?’ හෙමිහිට කී ඇය වෙනතක් බැලුවාය.

“නැන්දෙ. කාමරේ පිට පැත්තෙත් හාල් හැලිලා.”

“ඔව් හාල් විසිරිලා”

“මම ඒවා එකතු කරන්නද?”

“නැහැ රාගු. මම ඒවා එකතු කරන්නම්. ” නැන්දා පිටතට යමින් කීවාය.

දිවා ආකාරයෙන් පසු නැන්දා මගේ උපකරණ බෑයකට දැමුවාය මා ඉතා කැමති දේවලට සහ අකෙක් දේ මගේ සාක්කුවට දමුවාය. රස කැවිලි කීපයක් කඩදායක ඔතා එය මට දුන්නාය.

“රාගු පස්සෙ වෙලාවක් මෙහෙ එනවද?”

මේ හිස සැලුවෙමි. මගේ පියා කමිසය හැඳ ගැනීමටත් පෙර මම පිටත් වීමට සූදානමින් සිටිමි නැන්දා මාව ඇය වෙත ඇදගෙන සිප ගත්තාය. තාත්තා මේ බව දකිනු ඇතැයි සිතා මම ලැජ්ජාවීමි, මම තාත්තාගේ අතින් අල්ලාගෙන පිටත්වීමි.

“තාත්තේ දිය පාරෙ වතුර පිරිලද?”

“තාත්තේ දිය අගලෙ මාළු අල්ලන්න අපි යනව්ද?”

“සුරංගී දිගටම අපිත් එක්ක ඉන්නවද?”

මට බොහෝ දේවල් එකවර දැනගැනීමට අවශ්‍ය විය තාත්තා සිනා මුසුව පිළිතුරු දුන්නේය. සිරිට සහ පිටර්ට කීමට දහසක් දේවල් මට තිබිණ. ඔවුනට දීමට මම සියඹලා ඇහිඳ ගත්තෙමි මම ඉක්මණින් ම  නිවසට යාමට අපේක්ෂා කෙළෙමි.

මම තිගැස්මෙන් යුතුව බසයට නැගුනෙමි. බස් රථය පිටත්විය. මගේ හදවත සතුටින් ඉපිළෙලයි.

තාත්තා සමඟ කතා කරමින්ම මම සාක්කුවට අත දැමුවෙමි. නැන්දා දුන් චොකලට්ටුව මගේ අත වැදිණි. එවිට එකවරම මට සිහිපත් විය.

අඹ ගස යටදී ආපසු හැරී නැන්දාට අත වැනීමට සම්පූර්ණයෙන් ම අමතක විය. සම්පූර්ණයෙන් ම අමතක විය.

සිංහල අනුවාදය – බොබී ජී. බොතේජු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!