ලංගම බස් රථයක කොන්දොස්තරවරයකුගේ දත් කැඩෙන්න ගැසූ පාසල් සිසුවා පොලිසිය විසින් මුදාහැරීමට විරෝධය දක්වමින් තිස්සමහාරාමයේ සිට ධාවනය ආරම්භ කරන සියලු ලංගම බස් රථ අද (09) ධාවනයෙන් ඉවත්කරගෙන තිබේ.
ලංගම සේවකයන් පවසන්නේ ඊයේ (08) ධාවනය වෙමින් තිබූ බසයක ඇතුළත ඉඩ තිබිය දී පා පුවරුවේ ගමන්කළ සිසුවාට බසය ඇතුළට එන්න යැයි පැවසීමත් සමඟ උරණ වී ඔහු කොන්දොස්තරවරයාට පහර දුන් බවයි. එම ප්‍රහාරයෙන් කොන්දොස්තරවරයාගේ දත් දෙකක් ද අහිමි වී දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.
කොන්දොස්තරවරයා රෝහල්ගතව සිටිය දී පොලිසිය විසින් සැකකාර සිසුවා මුදාහැරීමට විරෝධය දක්වමින් මෙලෙස බස් වර්ජනයක් ආරම්භ කර ඇත.
පසුගිය දා පාපුවරුවේ ගමන්ගත් සිසුවකු බසයෙන් ඇදවැටී තුවාල ලබා රෝහල්ගත කළ බවත් ඔහු රෝහලෙන් ඉවත්ව යනතුරු බස් රථයේ රියදුරාට ඇප නොදුන් බවත් ලංගම සේවකයෝ කියති. මෙම සිසුවා පොලිස් ඇප මත මුදාහැරීම නොකළ යුතු බව ද ඔවුන් පෙන්වා දෙයි.
පහරදීම සිදුකර ඇත්තේ තිස්සමහාරාම බස් නැවතුම්පොළේ කතරගම බසය නවත්වන ස්ථානයේ දී ය.