පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව හන්දියේ ඇති වූ කලහකාරී සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පැතුම් කර්න ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අද (04) නියෝග කළේය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිණි. සෑම මසක ම අවසන් ඉරිදා දිනයේ ඔහුට කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ පෙනී සිටින ලෙස ද නියෝග කළේය. සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමට ද නියෝග කළේය.
පැතුම් කර්නර් අද (04) හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සාක්ෂිකරු විසින් ඔහු හඳුනාගත් බව ද අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න පෙනී සිටියේය. ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ පොල්දූව හන්දියේ සිදුවූ ගැටුම්කාරී අවස්ථාවේ දී හමුදා වාහන, පොලිස් වාහන සහ ගිලන් රථයකට රුපියල් ලක්ෂ 16ක පමණ අලාභයක් සිදුව ඇතැයි සහ යුද හමුදා භටයකුගේ ගිනි අවියක් පැහැර ගෙන ඇතැයි පොලිසිය පැවසුව ද එම කාර්යයන් තම සේවාදායකයා කළා යැයි කීමට කිසිදු සාක්ෂියක් පොලිසිය සතුව නැති බවයි.
එබැවින් එම චෝදනා සියල්ල ඇප දිය හැකි වරදක් හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් නිලධාරීන්ගෙන් දැඩි විරෝධයක් එලල් විය.
අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පවසන්නේ යුද හමුදා නිලධාරියා සතුව තිබූ ගිනි අවිය පැහැරගත්තේ පැතුම් කර්නර් විසින් යැයි එම ගිනි අවිය අත දරා සිටි යුද හමුදා භටයා විසින් හඳුනාගෙන ඇති බවයි. එම ගිනි අවිය සොයාගත්තේ දින 10කට පසුව බවත් එම කාලය තුළ එය යොදාගෙන අපරාධයක් කර ඇත්දැයි සොයා බැලිය යුතු බැවින් සැකකරුට ඇප නොදෙන ලෙස පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය ඉල්ලා සිටියේය.
පැතුම් කර්නගේ නීතිඥ අර්සකුලරත්න කියා සිටියේ ගිනි අවිය පැහැර ගත්තා යැයි පවසන අවස්ථාවේ විදුලිය විසින්ධි වී තිබූ බැවින් හමුදා සෙබළා විසින් තම සේවාදායකයා නිවැරදිව හඳුනාගත්තේය යන්න ගැටලු සහගත බවයි.
මේ සියලු කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප ලබා දීමට නියෝග කළේය.
මෙම නඩුව ලබන අගෝස්තු 23 වැවනි දා යළි කැඳවීමට ද නියෝග කෙරිණි.