ගාල්ල මාදම්පා විල අභය භූමියේ සීමා මායිම් යළි තීරණය කර අම්බලන්ගොඩ නගරය ඇතුළු ගැටලුවලට තුඩු දී ඇති ස්ථාන කිහිපයක් අභය භූමි ප්‍රදේශයෙන් කඩිනමින් ඉවත්කරන්න යැයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක නියෝග කළේය.
ආමත්‍යවරයා මේ බව කියා සටියේ මාදම්පා විල අභය භූමියේ මායිම් ගැසට් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති රැස්වීමක දී ය. පොහොර හා කෘමි නාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා මෙම රැස්වීමට සහභාගී වූයේය.
2007 සැප්තැම්බර් 21 වැනි දින ගැසට් නිවේදන අංක 1515/21 යටතේ මාදම්පා විල අභය භූමිය හෙක්ටයාර 1217.75ක විශාලත්වයකින් යුතුව ප්‍රකාශයට පත්කර තිබිණි. මෙලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඇතිවූ ප්‍රධානතම ගැටලුව වූයේ අම්බලන්ගොඩ බස් නැවතුම්පොළ, ප්‍රධාන පාසලක් සහ නගර සභාවේ සංවර්ධනය සඳහා යෝජිත ඉඩමක් පවා මෙම අභය භූමි බලප්‍රදේශයට ඇතුළත් කර තිබීමයි. එමෙන් ම හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශාල වශයෙන් මිනිස් ක්‍රියාකාරක්ම සිදුවන හා අධික ජනගහනයක් පදිංචිව සිටින ප්‍රදේශ ද මෙම අභයභූමි සීමාවට ඇතුළත් කර තිබීම ගැටලුවක් ව තිබිණි.
ප්‍රධාන නගරයක කොටසක් ඇතුළත්වන පරිදි ශ්‍රී ලංකාවේ අභයභූමියක් නම්කර තිබූ ප්‍රථම අවස්ථාව මෙය විය.
අභයභූමිය ගැසට් කළ දිනයේ පටන් තම සංවර්ධන කටයුතුවලට එය දැඩි බාධාවක් බව පළාත් පාලන ආයතන හා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් දිගින් දිගටම පෙන්වාදීම හේතුවෙන් 2017 ජූලි මස 22 වැනි දින රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම අභයභූමියේ සීමා මායිම් යළි සංශෝධනය කිරීම සඳහා අනුමැතිය දී ඇත.
එම අනුමැතිය ලැබී මේ වනවිට වසර තුනක් ගත වී ඇතත් සීමා මායිම් යළි සංශෝධනය සිදුව නැත. අමාත්‍ය සී.බී.රත්නායකගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වන ලද්දේ ඒ සඳහා අවසන් තීන්දුවක් ගැනීමේ බලාපොරොත්තුවෙනි.
එහි දී හික්කඩුව වනජීවී උද්‍යානයේ ස්ථාන භාර නිලධාරී වරයාට මෙහි සීමා මායිම් පෙන්වන ලෙස අමාත්‍යවරයා කියා සිටිය ද ඔහුට සීමා මායිම් පෙන්වීමට නොහැකි විය. ජීපීඑස් තාක්ෂණය ඔස්සේ ලකුණු කර තිබූ මාදම්පා විල අභයභූමියේ සීමාවන් ස්වභාවික මායිම් හා ග්‍රාම නිලධාරී මායිම්වලින් පරිබාහිරව පිහිටා තිබෙන බැවින් එය පෙන්වීම අපහසු කාර්යයක් වී තිබිණි.
ප්‍රාදේශීය ලේකම්වරු කියා සිටියේ රාජ්‍ය පරිපාලනයේ දී සාමාන්‍යයෙන් භාවිතා කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිම් හා ග්‍රාම නිලධාරී වසම් මායිම් අනුගමනය කරමින් වනජීවී දෙපාර්තමේන්තුව අභයභූමිය ප්‍රකාශයට පත්කළේ නම් මේ ගැටලුව ඇති නොවන බවයි.
මේ පිළිබඳ උපදෙස් ලබාදුන් අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර කියා සිටියේ නොවැම්බර් මස 15 වැනි දිනට පෙර වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා පළාත් පාලන ආයතන නියෝජිතයන් එක කණ්ඩායමක් ලෙස එක්වී දැනට ඇති මායිම් සහ ගැටලු සහගත ස්ථාන අභයභූමි කලාපයෙන් ඉවත්කර නව මායිම් ලෙස යොදාගත හැකි ස්වභාවික මායිම් සම්බන්ධයේන වාර්තාවක් සකස් කරන ලෙසයි.
ඉන් පසු එම මායිම් පිළිබඳ සොයා බලා පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තාවක් ද ලබාගැනීමෙන් අනතුරුව 2017 ජූලි මස 22 ක ලබාදුන් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ලේකම් වරයා කියා සිටියේය.
මෙහි දී අදහස් දැක්වූ පළාත් පාලන ආයතනවල සභාපතිවරු කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව අභයභූමි සීමා තීරණය කර ගැසට් කිරීමේ දී මහජන අදහස් විමසීම් තක්සේරු වාර්තා සකස් කිරීම් හෝ පළාත් පාලන ආයතනවලින් විමසීම් නොකිරීම ප්රශ්නකාරී බවයි. නමුත් සංශෝධනයක් කිරීමේදී විශාල ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට සිදුවීම ද ගැටලුවක් බව ඔවුහු පෙන්වා දුන්හ.
මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය සී.බී.රත්නායක මෙසේ ද කීවේය.
“අභයභූමියක් ප්‍රකාශයට පත්කර තිබෙන්නේ මේ ප්‍රදේශයේ පාරිසරික වටිනාකම සැළකිල්ලට ගනිමිනි. ඉදිරියේ දී මේ සංවේදී පරිසර කලාපය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව නිසා. නමුත් අපිට පෙනෙනවා මායිම් නිර්ණය කිරීමේ දී ගැටලුවක් තිබෙන බව. අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස්නැවතුම් පොළ, පාසලක්, කුඹුරු ඉඩම් ආදිය මෙයට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම සිය ගණනක් තමන්ගේ ජීවනෝපාය පවත්වාගෙන ගිය ප්‍රදේශත් ඇතුළත්. වනජීවී නිලධාරීන්ටම මේ අභයභූමියේ මායිම් පෙන්වාදීමට නොහැකිවීමෙන් ඒ සම්බන්ධ බරපතල ගැටලුකාරී තත්ත්වය පැහැදිලිව දක්නට ලැබෙනවා. මේ නිස මේ මාසයේ 15 වැනි දා වනවිට මායිම් ගැන අවසන් තීරණයක් ගන්න. අපි පාරිසරික බලපෑම් අධ්යයනකුත් කරලා මේ සීමාවන් යළි සංශෝධනය කරලා ගැසට් කිරීමට කටයුතු කරනවා.”
මෙම රැස්වීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ, ප්‍රාදේශීය ලේකම්වරු, වනජීවී නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.