කොඩිය යනු මිනිසා සංස්කෘතික වීමේ මූලාරම්භයේ පටන් පැවැති සංකේතයකි. ක්‍රිස්තු පූර්ව 3000 දී චීනයේ සේද රෙදි යොදා කොඩි නිර්මාණය කළ බවට සාක්ෂි ඇති අතර ඊටත් පෙර විවිධ ගෝත්‍රිකයෝ සතුන්ගේ සම්වල ලේ වලින්, ගුරු ගල් වැනි විවිධ වර්ණ ගල්වලින් සංකේත ඇඳ කොඩි නිර්මාණය කරන්නට ඇතැයි ඉතිහාසඥයෝ කියති.
රෝමයේ පූජණීයත්වයේ සංකේතයක් ලෙස කොඩි භාවිතා කර ඇති අතර සෑම රටක ම සෑම ගෝත්‍රයක ම කොඩිය භාවිත වූයේ ඇදහිලි, විශ්වාසයන් සහ තම නායකයාගේ හෝ රජුගේ බල පරාක්‍රමය විදහා දක්වන සංකේතයක් ලෙසිනි.
කොඩිය ජයග්‍රහණය පිළිබිඹු කිරීමට යොදා ගන්නා අතර ම තවත් විටක ශෝකාකූල අවස්ථා පිළිබිඹු කිරීමට ද යොදා ගනී.
පෙරදිග ලෝකයේ කොඩිය පූජනීය වස්තුවක් ලෙස සලකද්දී පුරාණ භාරතයේ කොඩියට ගෞරවයක් හා භක්තියක් හිමිව තිබිණි. බොහෝ විට කොඩිය දරන්නා ගෞරවනීය පුද්ගලයකු ලෙස සැළකුණු අතර කොඩියක් රැගෙන ගියේ හස්ථියකු හෝ අශ්වයකු පිට පමණි. කොඩියක් රැගෙන යන පුද්ගලයකු ඇල්ලීම හෝ හානි කිරීම රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස ද සැළකිණි.
ශ්‍රී ලංකාවේ ද අතීතයේ පටන් ම විවිධ කොඩි වර්ග භාවිතායට පැමිණ තිබේ. දුටු ගැමුණු රජුගේ කොඩිය ඒ අතරින් වඩාත් ජනප්‍රිය කොඩියකි. විවිධ දෙවිවරුන් වෙනුවෙන් නිර්මාණය වූ කොඩි ද, එක් එක් කෝරළේ, දිසා වෙනුවෙන් වෙන් වූ කොඩි ද තිබිණි. මේ අතර විවිධ ගෝත්‍ර හා කුල නියෝජනය කරන කොඩි ද ශ්‍රී ලංකාවේ තිබිණි.
ශ්‍රී ලංකාව යටත් විජිතයක් වනතුරු ම සිංහ කොඩිය මෙරට රාජ්‍යයේ නිල ධජය ලෙස සැළකුණු අතර පසුව බ්‍රිතාන්‍ය කොඩිය මෙරට ධජය බවට පත්විය. නිදහසින් පසු අද වර්තමානයේ භාවිතා වන ජාතික ධජය ව්‍යවස්ථාපිත කළ අතර බෞද්ධ කොඩිය ද මෙරට වඩාත් ප්‍රචලිත කොඩියකි. වර්තමානයේ පළාත් කොඩි සහ දිස්ත්‍රික් කොඩි ද භාවිතයේ තිබේ
ශ්‍රී ලංකාවේ පුරාණ රාජධානි සමයේ කොඩිකාර නිලමේ නමින් තනතුරක් ද තිබිණි.
මේ දිනවල වඩාත්ම කතා බහට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ කොඩියයි. පසුගිය 09 වැනි දා ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගලකරුවන් එහි තිබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ධජය එය ඔසවා තිබූ කණුවෙන් ගලවා බිම හෙලුවේ ජය ඝෝෂා හඬ මධ්‍යයේය. පසුව එක් අරගලකරුවෙක් ඒ කොඩිය සරමක් සේ ඇඳගෙන සිටිනු දක්නට ලැබිණි. තවත් පුද්ගලයකු ජනාධිපතිවරයාගේ කොඩියක් නිවසට ගෙන ගොස් එය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිතා කරන ආකාරය පෙන්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහකර පසුව ඔහු ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපතිවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ සිය ධූරයේ වැඩ බාරගත් පසු කියා සිටියේ තමන් ජනාධිපති කොඩියක් බාවිතා නොකරන බවයි. එමෙන්ම තමන්ට අතිගරු යනුවෙන් ආමන්ත්‍රණය නොකරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
මේ කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති කොඩිය නැවත කරළියට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු විසින් ජනාධිපති සංකේතය ලෙස කොඩියක් භාවිතයට පැමිණෙන්නේ 1972 වර්ෂයේ දී ය. ඒ මෙරට පළමු සහ එකම නාමමාත්‍ර විධායක ජනාධිපතිවරයා බවට පත්වූ විලියම් ගොපල්ලව විසිනි. 1977 මැයි 22 වැනි දා සිට 1978 පෙබරවාරි 04 වැනි දා දක්වා ඔහු එම කොඩිය භාවිතා කළේය. එය ඉතාමත් සරල ධජයකි. සෘජු කෝණාස්‍රාකාර හැඩයකින් යුතු එම කොඩියේ නිල් පැහැති පසුබිමෙහි ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය සහ ඊට පහළින් රතු පැහැති අකුරින් ශ්‍රී ලංකා යනුවෙන් සඳහන් කර තිබිණි.
මෙරට පළමු විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ ජේ.ආර්.ජයවර්ධන සිය නිල ධජය ලෙස විලියම් ගොපල්ලවගේ ධජය ඉවත් කර වෙනත් ධජයක් භාවිතා කිරී ආරම්භ කළේය. සෘජු කෝණාස්‍රාකාර මේ කොඩියේ කොළ පැහැති තීරුවකින් වට වූ එම ධජයේ කොළ පැහැ තීරුටව ඇතුළතින් සුදු පැහැති සිහින් ඉරක් ද රෝස පැහැති පසුබිමක හරි මැද ධර්ම චක්‍රය ද දක්නට ලැබිණි. රෝස පැහැති පසුබිමෙහි සතර කොනෙහි කොළ පැහැති බෝපත් සතරක් ද පිහිටා තිබිණි. එය ජාතික ධජයේ බෝපත්වලට සමාන විය.
ජේ.ආර්.ජයවර්ධනගෙන් පසු ජනාධිපතිධූරයට පත් වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා 1989 සිට 1993 මැයි 01 වැනි දා බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වනතුරු තම පාලන කාලයේ දී තවත් ධජයක් භාවිතා කළේය. ප්‍රේමදාස භාවිතා කළ ධජයේ ද ජේ.ආර්. ජයවර්ධනගේ කොඩියේ මෙන් ම වටා කොළ පැහැති තීරුවක් ද විය. ඊටත් වටා සුදු පැහැති රේඛාවක් ද විය. ශ්‍රී ලංකා රාජ්‍යයේ වර්ණය ලෙස සැළකෙන මෙරුන් පැහැති පසුබික මධ්‍යයේ නෙළමු මලක් ද විය. එම ධජයේ සතර කොනෙහි ද බෝපත් තිබුණු අතර මෙරුන් පැහැති පසුබිම වටා සිතුවම් වූ වී කරල් සතරක් ද සිතුවම් කර තිබිණි.
ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මරණයෙන් පසු ඩී.බී.විජේතුංග ජනාධිපතිවරයා ධූරයට පත්වීමෙන් පසු ඔහු තවත් ජනාධිපති නිල ධජයක් නිර්මාණය කර ගත්තේය. සෘජු කෝණාස්‍රාකාර හැඩැති කොඩියේ වටා මෙරූන් කළු පැහැති කුඩා තීරුවක් ද, ඊට ඔබ්බෙන් ලා දුඹුරු පැහැති තීරුවක් ද විය. ඊටත් ඔබනේ මෝස්තරයක් ද දක්නට ලැබුණු අතර කොඩියේ හරි මැද ලා දුඹුරු පැහැති පසුබිමක ධර්ම චක්‍රයක් ද වූ අතර ඒ වටා සක් ගෙඩි, ත්‍රිශූල ආදී සංකේත කිහිපයක් ද නිරූපණය කර තිබිණි විජේතුංග ජනාධිපතිවරයාට පෙර ජනාධිපතිවරුන් භාවිතා කළ කොඩිවල තිබූ බෝපත් හතර අතහැර තිබුණේ නැත.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 1994 වර්ෂයේ දී ජනාධිපතිනිය බවට පත්ව තම නිල ධජය අලුතෙන් නිර්මාණය කළාය. එහි පිළිවෙලින් රතු පැහැයට හුරු මෙරුන් පැහැති තීරුවක්, සුදු පැහැති තීරුවක්, මේස්තරයක් නැවත සුදු තීරුවක් තිබුණු අතර පසුබිම කහ පැහැති විය. එහි මධ්‍යයේ නෙළුම් මලක් සිතුවම් කර තිබූ අතර නෙළුම් මල මැද තිබුණේ ධර්ම චක්‍රයකි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ද සිය කොඩියේ මුළු තරහෙි සුදු පැහැති බෝ කොළ සතරක් තැබීමට අමතක කර තිබුණේ නැත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ධජය ලෙස භාවිතාකළේ මෙරූන් කළු පැහැති තීරුවක් සහ පිළිවෙලින් තැබඹිලි පැහැති පසුබිමෙහි සුදු, රතු සහ කොළ පැහැති මෝස්තරයක් සහ මෙරූන් පසුබිම මධ්‍යයේ නෙළුම මලක් සහිත ධජයකි. ඔහු ද සිව් කොණ බෝපත් හතර එලෙසම තබා තිබිණි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 බලයට පත්වීමෙන් පසු තවත් ජනාධිපති ධජයක් මෙරට භාවිතයට ගැණිනි. සිවුකොණ බෝපත් සතර අමතක නොකළ ජනාධිපතිවරයා මෙරුන් දුඹුරු පැහැති පසුබිමක් සිය ධජයට භාවිතා කළේ මධ්‍යයේ නෙළුම් මලක් ද සිතුවම් කරමිනි. කොඩිය වටා සුදු පැහැති තීරුවක්, ඊට ඔබ්වෙන් මෝස්තර පේළියක් ද තිබිණි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වූ පසු තවත් ජනාධිපි ධජයක් භාවිතයට ගැණිනි. එම ධජය වටා කහ පැහැති තීරුවකි. ඊට පසු සුදු පැහැති තීරුවක් සහ තද දුඹුරු පැහැති තීරුවක් දක්නට ලැබේ. ඉන් පසු තැඹිලි පැහැති තීරුව මත වී කරල් මෝස්තරයක් සටන් කර තිබිණි. එහි නාමල් සතරක් සහ කුරහන් මල් සතරක් ද වෙයි. තද දුඹුරු පැහැති පසුබිම මධ්‍යයේ කහ පැහැති සහ සුදු පැහැති රවුම් දෙකක් මැද නෙළුම් මලක් සිතුවම් කර තිබේ. පෙර ජනාධිපතිවරු සිය ධජයන්හි සටහන් කර තිබූ බෝපත් සතර තම ධජයේ ද එලෙසම පවත්වාගෙන යාමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද කටයුතු කර තිබිණි.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ජනාධිපති ධජය” භාවිතා නොකරන බව කියා සිටියි. ඒ අනුව ඉදිරියේ දී පත්වන ජනාධිපතිරයකු එවැනි ධජයක් භාවිතා නොකළහොත් විලියම් ගොපල්ලවගෙන් ආරම්භ වූ මෙරට ජනාධිපති ධජ 08කින් අවසන් වනු ඇත.
රටෙන් පැනලා ගිය එකෙක්ගේ කොඩියක කොහිද අභිමානයක්.