spot_img
spot_imgspot_img

දරුවන් ලෙඩ කරන ගුරුවරියන්ගේ දරුගැබ් වනසන පාසල් ශබ්ද විකාශන. දරුවන්ගේ යපහත “අදාල නෑ” ගාල්ල කලාප කාර්යාලය කියයි.

පුවත්

විදෙස්

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේ දී පාසල් සිසු සිසුවියන්ගේ සෞඛ්‍යයට එය බරපතල හානියක් බවත් ගැබිනි කාන්තාවන්ගේ දරු කලලයට පවා එයින් හානි සිදුවන බවට සෞඛ්‍ය අංශ පවසා තිබුණ ද එය තමන්ට අදාල කරුණක් නොවේ යැයි ගාල්ල කලාප කාර්යාලය පවසයි.

ඔවුන් මේ බව කියා සිටියේ තොරතුරු දැනගැනීමේ පනතට අනුව ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් අප විසින් කරනු ලැබූ තොරතුරු ඉල්ලීම්වලට සහ ඉන් පසු දුරකථනයෙන් කරන ලද විමසීම්වලට කරුණු පැහැදිළි කරමිනි.  

මහාචාර්ය මලික් ගුණවර්ධන පවසන්නේ අධික ශබ්ද විකාශනයට විනාඩි කිහිපයක් නිරාවරණය වීමෙන් පවා දරුවන්ගේ සෞඛ්‍යට ඉන් බරපතල හානියක් සිදුවන බවයි. තත්පර කිහිපයක් පවතින වාහන හෝන් ශබ්දයක් පවා පාසල් දරුවන් ශාරීරිකව සහ මානසිකව රෝගී කරන බවත්, එවැනි ශබ්ද ගැබිනි කාන්තාවන්ගේ දරු ගැබට ඉතාමත් හානිදායක ලෙස බලපාන බවත් මහාචාර්ය වරයා පෙන්වා දී තිබේ.

මේ අතර විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසන්නේ ද පාසල් සිසු දරු දැරියන් ශබ්ද විකාශනවලින් නිකුත් කරන අධික ශබ්දයට නිරාවරණය වීමෙන් මානසික ගැටලුවලට ද ලක්වන බවයි.

මේ පිළිබඳ අප කළ අධ්‍යයනයක දී පෙනී ගියේ ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් පද්ධතිය ම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ නීති  විරෝධී ලෙස බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2007 නොවැම්බර් මස 09 වැනි දා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතාය සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දී ඇත.

එම නියෝගයේ මෙසේ දක්වා ඇත.

“පූජනීය යැයි කියන සූත්‍ර සජ්ජායනාවට සහ පරිසරයේ නිශ්චලතාවයට බාධා කිරීම, එවැනි ගායනයකට හෝ දේශනයකට හෝ ස්ජ්ජායනාවකට සම්බන්ධ නොවන පුද්ගලයන්ගේ කන් මත එය බලෙන් පැටවීම ආගම්වල උගන්වා නැත.”‍

එලෙස ලබා දී ඇති නියෝගය අනුව එවකට අපරාධ හා මෙහෙයුම් නියේාජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න විසින් 2007 නොවැම්බර් මස 28 දිනැතිව සියලුම දිසාභාර ‍නියෝජ්‍ය පොලිස්තිවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත්කර එම නඩු තීන්දුව ප්‍රකාරව 2007-11-22 දිනැති පොලිස්පති චක්‍රලේඛ 2031/2007 හා අපරාධ චක්‍රලේඛ 16/07 අනුව කටයුතු කරන ලෙස දන්වා තිබේ.

ඒ අනුව කිසියම් පොදු ස්ථානයක හෝ පුද්ගලික ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍ර, බෆල්, ඇම්පිලෆයර් භිවිතයෙන් ශබ්දය උත්පාදනය කරන්නේ නම් ඒ සඳහා පොලිසියෙන් බලපත්‍රයක් ලබාගත යුතුය.

නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 2016 අංක 12 දරණ තොරතුරු පනත යටතේ අප කළ විමසීමක දී අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරීවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය සඳහා කිසිදු බලපත්‍රයක් ලබාගෙන නැති බවයි.

නමත් අප කළ විමසීමක දී අධ්‍යාපපන අමාත්‍යාංශය ED/05/RTI/01/04/01(2203/087) අංක යටතේ 2022-05-31 වැනි දින පිළිතුරු සපයමින් කියා සිටින්නේ උදෑසන 6.30 සිට සක්‍රීයව දෛනික ක්‍රියාකාරක්ම ආරම්භ කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි. එම උපදෙස් අනුව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් විදුහල්වල පිරත් දේශනා, ජාතික ගීය, වෙනත් ජාතිකාභිමානී ගීත, දරුන් විසින් සැකසූ වැඩසටහන් විකාශ්‍ය කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) සහ තොරතුරු නිලධාරී පී.එල්.පත්මකුමාර සඳහන් කර තිබේ.

ශබ්ද විකාශන යන්ත්‍රවලින් විකාශය කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් යම් කිසි චක්‍රලේඛයක් නිකුත්කර ඇත්ද යන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසූ විට පිළිතුරු ලෙස එවා ඇත්තේ එවැනි වැඩසටහනක් නැති බවයි. නමුත් මෙවැනි උදෑසන වැඩසටහන් සඳහා ඇති චක්‍රලේඛ සහ උපදෙස් කවරේද යන්න ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසූ විට එහි තොරතුරු නිලධාරිනිය 2022-04-21 වැනි දින අප වෙත එවූ පිළිතුරු ලිපියක සඳහන් කර ඇත්තේ “සැඟවුණු විෂයමාලා” අනුව උදෑසන පිරිත් දේශනා, ගීත ප්‍රචාර අතුළු වැඩසටහන් 6.30 සිට ආරම්භ වන බවයි.

ගාල්ල කලාප කාර්යාලයේ තොරතුරු නිලධාරිනී, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) ඩබ්ලිව්.ඒ.මධුශ්‍රීනි වාසනා වෙත නැවත තොරතුරු ඉල්ලමින් සැඟවුණු විෂය මාලා පිළිබඳ විදුහල්පති අත්පොතේ උපුටන හා විදුහල්පති උපදෙස් සංග්‍රහයේ උපුටන සඳහන් කරමින් යවන ලද ලිපියකට පිළිතුරු වශයෙන් 2022-06-10 වැනි දිනැතිව ගා/කලාප/පා03/තො.දැ.ප. 2022 යටතේ පිළිතුරක් එවමින් ඇය විසින්ම ප්‍රකාශ කර ඇත්තේ සැඟවුණු විෂය මාලා සම්බන්ධයෙන් ගාල්ල කලාප කාර්යාලය සතුව තොරතුරු නොමැති බවයි.

මෙය අපභ්‍රංශ කතාවකි. ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය සැඟවුණු විෂය මාලා අනුව පාසල් ශබ්ද විකාශන කටයුතු සිදුවන බව පවසා එම කරුණු කවරේදැයි විමසූ විට එවැනි තොරතුරු නැතැයි පැවසූම පුදුම සහගතය.

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇති නීතිමය අවසරය පිළිබඳ ද අපි කරුණු අධ්‍යයනය කළෙමු.

එහි දී ඕනෑම පොදු පරිශ්‍රයක ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් ඒ සඳහා දෛනිකව රුපියල් 250.00ක මුදලක් ගෙවීමේ පදනම මත දිනපතා ශබ්ද විකාශන බලපත්‍රයක් ලබාගත යුතු බව පොලිස් දෙපාර්තමේන්තුවේ නීති කොට්ඨාසයේ උපදෙස් මත ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සහ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය මගින් අප වෙත තොරතුරු ලබා දී තිබේ. ඒ සම්බන්ධ පොලිස්පති චක්‍රලේඛ සහ මුදල් අයකිරීමේ ක්‍රියාපටිපාටිය ද අප වෙත එවා ඇත.

මේ සම්බන්ධයෙන් අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද තොරතුරු විමසුවෙමු. අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරීවරයා අප වෙත ලබා ඇති පිළිතුරු අනුව ශ්‍රී ලංකාවේ කිසිදු පාසල් පද්ධතියකට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට උපදෙස් ලබා දී නැත. එවැනි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් උදෑසන පිරිත් සජ්ජායනා, දේශාභිමානී ගීත, ජාතික ගීය, ආගමික වතාවත් ප්‍රචාරය කරන ලෙස ද කිසිදු ආකාරය‍කින් උපදෙස් දී නැත. අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරීවරයා පවසන්නේ යම් පාසලක ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරන්නේ නම් ඒ සඳහා රටේ වලංගු නීතිමය රෙගුලාසි අනුව නිසි පරිදි අවසරයක් ගත යුතු බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය එසේ ප්‍රකාශ කළද මේ වනවිට ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ අති බහුතරයක් පාසල්වල කිසිදු අවසරයකින් තොරව නීති විරෝධී ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සිදුකරයි. පොලිස්පතිවරයාගේ චක්‍රලේඛය අනුව මෙය අපරාධමය වරදකි. ඒ අනුව ආයතන ප්‍රධානීන් වන විදුහල්පතිවරු පාසලේ සිසු දරු දැරිියන්ගේ ගුණාත්මක සංවර්ධනයට යැයි කියමින් සිදුකරන්නේ නීති විරෝධී කාර්යයකි.

මෙවැනි නීති විරොධී කාර්යයක් සිදුකිරීමෙන් ගුණාත්මක සංවර්ධනයක් බලාපොරොත්තු විය හැකි ද යන්න ගාල්ල කලාපයේ පිහිටි එක්තරා ජාතික පාසලක විදුහල්පතිරවයකුගෙන් ඇසූ විට ඔහු අපට කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමන්ට කරන්නට යැයි කියූ දේ කරන බවයි.

එම විදුහල්පතිවරයා මේ වනවිට පොද්දල පොලිසිය ද නොමග යවමින් නීති විරෝධී ලෙස ශබ්ද විකාශන බලපත්‍රයක් ලබාගෙන තිබේ.

එම ශබ්ද විකාශන බලපත්‍රයේ පිටපතක් ඉල්ලා අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඔහුට ලිපියක් යොමු කළ ද රාජ්‍ය නිලධාරියකු වන විදුහල්පතිවරයා රටේ පනතක සඳහන් කරුණු නොතකා හරිමින් එම තොරතුරු දීම ප්‍රතික්ෂේප කර ඇත.

එම ජාතික පාසල සඳහා ශබ්ද විකාශන බලපත්‍රය ලබාගෙන ඇත්‍තේ සඳුදා දිනයේ උදෑසන වැඩසටහන පැවැත්වීමට පමණක් බව පවසමිනි. පොලිසිය ද ස්ථානීය පරීක්ෂණයක් නොකර නීති විරෝධීව බලපත්‍රය ලබා දී ඇති අතර පොලිස් නීති කොට්ඨාසය සඳහන් කරන පිරිදි එක් දිනකර රුපියල් 250.00 බැගින් බලපත්‍ර ගාස්තු ගෙවීමට නීතියයක් ඇතත් 2022-03-25 සිට 2022-12-31 දක්වා බලපත්‍රය ලබා දී ඇත්තේ එවැනි මුදලක් අයකර නොගනිමින. ඒ අනුව විදුහල්පතිවරයා සහ පොලිස් ස්ථානාධිපතිවරයා රජයට ආදායම් අහිමිකිරීමේ බරපතල වරදක් කර ඇත.

ශබ්ද විකාශනය සඳහා බලපත්‍රයක් ඇත්නම් එම බලපත්‍රයේ කොන්දේසි බලපත්‍ර හිමියා විසින් ආරක්ෂා කළ යුතුය. එහි පළමු කොන්දේසිය වන්නේ ශබ්දය විකාශනය කරනු ලබන පරිශ්‍රයෙන් පිටතට ශබ්දය විස්තාරණය නොවිය යුතු බවයි. එමෙන්ම බලපත්‍රයේ සඳහන් කාලයේ දී පමණක් ශබ්ද විකාශන භාවිතා කළ යුුතය. නමුත් එම විදුහලේ ශබ්දය පිටතට විස්තාරණය වන බවට මේ වනවි පොලිසියට පැමිණිලි දෙකක් ලැබී ඇති අතර බලපත්‍රයේ සඳහන් කාලයට අමතර කාලයේ දී ද ශබ්දය විකාශනය කරනු ලැබේ.

මෙය අපරාධමය වරදක් බැවින් විදුහල්පතිවරයාගේ වරදත්, ව්‍යාජ බලපත්‍රයක් ලබාදීමෙන් පොලිසිය කරන ලද වරදත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අපහාස කිරීමක් බව නීතිවේදීහු පෙන්වා දෙති.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් උදෑසන වැඩසටහන් විකාශ කිරීමේ පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යයට හානිකර බවට වෛද්‍ය උපදෙස් ඇති බවත් ඒ උපදෙස් සම්බන්ධයෙන් අධ්‍යාපන අංශ දැනුම්වත් වී සිටින්නේ ද යන්නත් ගාල්ල කලාප කාර්යාලයෙන් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසූ විට ඒ සඳහා 2022-05-18 දිනැතිව ගා/කලාප/පා3/තො.දැ.ප. 2022 යටතේ පිළිතුරක් ලැබී තිබේ.

එහි දැක්වෙන්නේ පුදුම සහගත පිළිතුරකි. ගාල්ල කලාප කාර්යාලයට දරුවන්ගේ සෞඛ්‍ය තත්වය අදාල නැත.

පාසල් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍යයට සිදුවන හානිය ගැන අධ්‍යාපන අංශ දැනුම්වත්ද යන්න විමසූ විට එහි තොරතුරු නිලධාරිනිය පවසන්නේ එය “අදාල නොවේ” යනුවෙනි.

දරුවන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑම් කරන එමෙන්ම ගැබිනි කාන්තාවන්ගේ දරු ගැබට හානිකරන තත්පර කිහිපයක ශබ්දයක්, ඒ ගැන නොතකා පැයකට වැඩි කාලයක් විකාශය කරන පාසල් පද්ධතියට දරුවන්ගේ යහපත් සෞඛ්‍ය්‍ය අදාල නැත.

මේ ගැන රටේ සියලු දෙමාපියන්ගේ අවධානයට යොමු විය යුතුය.

3 COMMENTS

  1. This looks like a personal issue of the author which he is trying to exaggerate and bring forward as a national issue. As far as what I know school loud speakers are not a disturbance to the neighborhood as this will last for about 30mts. There are so many other critical issues in the country which can be discussed in media rather than wasting everyone’s time by writing this type of idiotic news.

    • There is no permission to do anything illegal even for half an hour. Health authorities say that excessive noise is harmful to children’s health. Although this is not a problem for you. It is a national issue.

  2. පාසල් වල ශබ්ද විකාශනය ගැන කතා කරන්න කලින් , බස් රථ, මහාමාර්ග ,සංගීත සංදර්ශන ආදිය ගැන කතා කරන්න . පාසල් වල ශබ්ද විකාශනය ත් තහනම් නම් ශබ්ද විකාශන යන්ත්‍ර විකිණීම ත් තහනම් කරන්න වෙයි. පාසල් වල ශබ්ද විකාශන යන්ත්‍ර දාගෙන ජෝගි නටන්නේ නැහැ . මේවා තනිකරම විනාවිනාශකාරි අදහස් .

Leave a Reply to චන්දන Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!