ගාලු මුවදොර ප්‍රදේශයේ දැඩි කලබලකාරී තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
කැරළි මර්ධන ඒකක, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා කණ්ඩායම් අද (22) අලුයම එම ප්‍රදේශය සෑම දෙසින්ම වටකර ඇති අතර ගාලු මුවදොර ගෝඨාගෝ ගම සිටි අරගල කරුවන්ගෙන් විටින් විට ලැබෙන පණිවිඩවලින් කියවෙන්නේ ආරක්ෂක හමුදා තමන්ට පහර දෙන බවයි.
මේ ප්‍රදේශයට මාධ්‍යවේදීන් කිසිවෙකට ඇතුළු වීමට ආරක්ෂක හමුදා ඉඩ නොදෙන අතර ඔවුන්ට ආරක්ෂක හමුදා පවසන්නේ ඉහළින් ලැබුණු නියෝග අනුව කිසිවෙකුට එහි ඇතුළු වීමට ඉඩ නොදිය හැකි බවයි.
ආරක්ෂක අංශවලින් සිය ගණනක් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට ඇතුළු වීමට කටයුතු කරන ආකාරයත්, ඔවුන් ගාලු මුවදොර වැටලූ ආකාරයත් දැක්වෙන වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ සංසරණය විය. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකර තිබූ ගෝඨා ගෝ ගම අට්ටාල අසළ දී ආරක්ෂක අංශ එහි සිටින අරගලකරුවන් සමඟ ගැටුම් ඇතිකරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ ද මේ වනවිට අන්තර්ජාලයට එක්ව තිබේ.
මේ තත්වය පිළිබඳ දැනටමත් ජාත්‍යන්තර මාධ්‍යවල ද වාර්තා පළවන අතර කැනඩා තානාපති කාර්යාලය ද ට්විටර් පණිවිඩයක් පවා නිකත් කර තිබේ.
ඊයේ (21) අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ නෝඩීල් ගම අරගලය අවසන් කෙරුණු අතර අද (22) ගාලු මුවදොර අරගලයේ කොටසක් ද ඉවත් කරන බව අරගලකරුවන් විසින් නිවේදනය කෙරිණි. මේ අතර ඊයේ (21) රතු කුරුස සංවිධානනය ද ගාලු මුවදොර තිබූ තම ඒකකය ද ඉවත් කරගැනීමට කටයුතු කර තිබිණි.
මෙම ස්ථානයේ සිදුවන දේ පිළිබඳ මෙතෙක් තහවුරු කරගත් තොරතුරු නොමැත.