spot_img
spot_imgspot_img

ජනමතයට එරෙහිවන, අඳුරු ව්‍යවස්ථාවක ශාපය අදත් එළෙසම

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වී ඇති ජනාධිපති ක්‍රමය මෙරට බහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කරන බව ඉතාමත් පැහැදිළිව පෙනෙන්නට තිබෙන කරුණකි. 2022 ජුනි මාසයේ දී වෙ‍රිටේ රිසර්ච් ආයතනය දීප ව්‍යාප්තව සිදුකළ සමීක්ෂණයකින් ඒ බව සනාථ වී තිබේ.

එහි දී මෙරට ජනගහනයෙන් 70%ක් ජනාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කර ඇති අතර 80%ක් ජනාධිපතික්‍රමය වෙනස්විය යුතුයැයි පවසා තිබේ.

මෙරට විධායක ජනාධිපති ක්‍රමය සකස් කරන ලද්දේ ජනතා කැමැත්ත විමසීමකින් නොවේ. පැවැති මැතිවරණ ක්‍රමය අනුව 1977 දී 5/6ක අතිවිශාල ජන වරමකින් බලයට පත්වූ ජේ.ආර්.ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනාධිපති ක්‍රමය ඇති කළේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ 08ක් පවත්වා ඇත. ව්‍යවස්ථා වෙනසකින් පළමු ජනාධිපතිවරයා ලෙස ජේ.ආර්.ජයවර්ධන තමන් විසින්ම තමන් ජනාධිපතිධූරයට නම් කරගනිමින් ජනතා පරමාධිපත්‍යයට පයින් ගැසිය හැකි බව මුලින්ම පෙන්වා දුන්නේය. ඉන් පසු පැවැති ජනාධිපතිවරණ 08 ක දී පුද්ගලයන් 06 දෙනකු ජනාධිපතිවී ඇති අතර පාර්ලිමේන්තුවෙන් තෝරාපත්කරගත් ඩී.බී.විජේතුංග ජනාධිපතිවීමත් සමඟ ජනාධිපතිවරු සංඛ්‍යාව 07 දෙනෙකි. මේ අතර වැඩබලන ජනාධිපතිවරු ද දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ පාලනය ගෙන ගොස් තිබේ. ඒ රත්නසිරි වික්‍රමනායක දින කිහිපයකට සහ පසුගිය 10 වැනි දා සිට අද දක්වා රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා වශයෙනි.

නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට අද (19) නාමයෝජනා බාර ගැනීමෙන් අනතුරුව හෙට (20) ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරණයක් පැවැත්වේ. මෙය ව්‍යවස්ථාවට අනුකූළ මෙරට නීතියට අනුකූළ කාර්යයක් වුව ද එය සැබැවින් ම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් ම රටේ ජනමතය හෑල්ලුවට ලක්කරන සහ විකෘතියට පත්කරනු ලබන බවට ඇති හොඳම උදාහරණයකි.

පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන මෙම මැතිවරණයෙන් කවුරුන් ජනාධිතිවරයා බවට පත්වේදැයි අනාවැකි කීමට හැකියාවක් නැත. නමුත් රටේ ඇති වී තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය හමුවේ 2019 දී ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත්, 2020 අගෝස්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් ලැබුණු ජනතා ප්‍රසාදය සහ ජන වරම දැන් පැහැදිලිවම අහෝසි වී ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූවා යැයි ලිඛිත ඉතිහාසයේ සටහන් වුව ද සැබැවින් ම ඔහු බලයෙන් පහකරනු ලැබූ ජනාධිපතිවරයෙකි.

වර්තමාන පාර්ලිමේන්තුවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළින් අද මේ ලිපිය ලියන මොහොත වනවිට රටේ ඇති ජනමතය පිළිබිඹු නොවන බව සක් සුදක් සේ පැහැදිලියි. දේශපාලනය ගැන උනන්දුවක් දක්වන කපුටු කාක් කාක් කියූ ඕනෑම කුඩා දරුවකුට වුව ද ගෝඨා ගෝ හෝම් යන සරල වැකියේ ගැඹුරු අර්ථය නොදත් වයස්ගත මහල්ලකුට වුව ද එය පැහැදිළිවන කාරණයකි.

ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු නොවන පාර්ලිමේන්තුවක් තුළින් ජනාධිපතිවරයකු තෝරාපත්කරගැනීම කොතරම් දුරට සාධාරණද යන්න ගැටලුවකි. නමුත් රටේ ව්‍යවස්ථාවෙන් ම ජන මතය විකෘති කර ඇති අවස්ථාවක දී වෙනත් කරන්නට දෙයක් නැන. නීතිය හමුවේ සිදුවන දේ සාධාරණයැයි කවුරුන් කෙසේ තර්ක කළ ද මහ පොළොවේ යථාර්ථය එය නොවේ.

මේ ලියන මොහොත විට (2022-07-19 පෙ.ව. 9.30) පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට ඉදිරිපත්වනු ඇතැයි අනුමාන කරන අපේකෂකයන් සංඛ්‍යාව 04 දෙනෙකි. (එය අද පාර්ලිමේන්තුව රැස්වූ විට වෙනස් විය හැකි බැවින් එම අනුමානයේ සිට මෙම විග්‍රහය කරනු ලැබේ)

ඒ අතරින් ජනාධිපතිවරණයකට කිසියම් අවස්ථාවක දී ඉදිරිපත් වූ අපේක්ෂකයන් සංඛ්‍යාව තුන් දෙනෙකි. රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා අවස්ථා දෙකක දී එනම් 1999 සහ 2005 වර්ෂවල දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූයේය. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක දෙදෙනාට ම අත්වූයේ පරාජයයි.

මේ තිදෙනාගෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙවර පාර්ලිමේන්තුවට පැමිණීමට සෘජු ජනවරමක් ලැබුණේ නැත. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රටක්වන ශ්‍රී ලංකාවේ මෙම ලේඛකයාගේ පෞද්ගලික මතය අනුව නම් ජාතික ලැයිස්තුව නම් යම් සාධනීය කරුණු කිහිපයක් සහිත ක්‍රමයෙන් ඔහු පාර්ලිමේන්තුවට ආවේය. එක් මන්ත්‍රීධූරයක් පමණක් ඇති ඔහු අගමැති වී වැඩබලන ජනාධිපතිවරයා ද වී දැන් පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එහි ප්‍රධාන තරඟකරුවකු වී සිටියි. ඔහුට මෙරට පැහැදිලි ජනමතයක් නැත.

සජිත් ප්‍රේමදාස යනු මෙරට විපක්ෂ නායකවරයාය. 2019 නොවැම්බරයේ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ හමුවේ පරාජය වූ ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ආසන 56ක් දිනගත් සමගි ජන බලවේගයේ නායකයා ලෙස විපක්ෂයේ නායකත්වයට පත්විය. නමුත් ඔහුට හෝ ඔහුගේ පක්ෂයේ අයකුට ජනාධිපතිවරයා වීමට ජනතාව ඡන්දය දී නැත.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වුව ද ඔහුට ඉන් ජය ගැනීමේ ආසන්නයට හෝ පැමිණීමට නොහැකි  විය. ජනතාව ඔහු මෙරට ජනාධිපතිවරයා කිරීමට සිතා තිබුණේ නැත. මහ මැතිවරණයෙන් ද අනුර කුමාර දිසානායක නායත්වය දරන කණ්ඩායමේ තිදෙනකුට පමණක් පාර්ලිමේන්තුවට යාමට මහජනතාව අවස්ථාව ලබාදුන්නේ සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 3%ක් ලබා දෙමිනි. මේ පාර්ලිමේන්තුවේ ඔහුට හෝ ඔහුගේ කණ්ඩායමේ අයකුට ජනාධිපති වීමට ජනතාවගේ වරමක් දී නැත.

ඩලස් අලහප්පෙරුම ශ්‍රී ලංකාවේ කිසිම ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවූ එකම තරඟකරුවාය. ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේකෂකයකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ මනාප ඡන්ද ලක්ෂයකට වඩා ලබා ගනිමිනි. පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් රඳවා ගත් අතර ඩලස් අලහප්පෙරුම මෙරට කැබිනට් අමාත්‍යවරයකු ද වූයේය. මාතර දිස්ත්‍රික්කයේ සහ දකුණේ ජනතාවත් රටේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ජනතාවත් ඔහු ගැන දැන සිටිය ද මෙරට බහුතරයක් ඔහු ගැන වැඩිය දන්නේ නැත. රට පුරා කිසිම දිනක ප්‍රචාරක යාන්ත්‍රණයක යෙදීමට ඔහුට අවස්ථාවක් නොලැබීම එයට හේතුව විය යුතුය.

මෙරට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මුලින් පැවති එක් ලක්ෂයණයක් වූයේ සමානුපාතික ක්‍රමයේ දී කෙනෙකු තම පක්ෂය මාරුකළ විට ඔහුට ලැබුණු ජනමතය අහෝසි වී ඇතැයි සළකා මන්ත්‍රීධූරය අහෝසිකිරීමයි. නමුත් අධිකරණ නියෝගයකින් එය වැළකී ගොස් ඇති බැවින් දැන් එවැන්නක් සිදුවන්නේ නැත. ඩලස් අලහප්පෙරුම පසුගිය දා අවසන් වූ රාජපක්ෂ පාලනයට විරෝධය දක්වමින් විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මම්පිළ කණ්ඩායම සමඟ පොදු ජන පෙරමුණෙන් වෙන්ව පාර්ලිමේන්තුවේ වෙනම කටයුතු කරයි. ඔහු පා‍ර්ලිමේන්තුවේ දැනට විශාලතම නියෝජනයක් සහිත දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වුව ද දැන් ඔහු නියෝජනය කරන්නේ එදා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහුට ලැබුණු ජනවරම ද යන්න පිළිබඳ වෙන ම අර්ථ නිරූපනයක් කළ යුතුය.

මෙහි දී විධායක ජනාධිපති ක්‍රමය සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිිබඳව ද මේ අපේක්ෂකයන්ගේ අපූරු හැසිරීමක් නිරීක්ෂණය කළ හැකි වෙයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද්දේ විධායක ජනාධිපති ක්‍රමය සමඟ ඇති වූ ඒකාධිපති පාලනයට යම් වෙනසක් අති කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ එක්කිරීමේ අරමුණෙනි. එය සම්මත විය. පසුව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ මහින්ද රාජපක්ෂ රජය ජනාධිපතිවරයාගේ විධායක බලතල තවදුරටත් වර්ධනය කරගිනිමින් මියයනතුරු ජනාධිපතිධූරයේ සිටීමට හැකි පසුබිමක් නිර්මාණය කරගත්තේය. එය කිසිදු සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස පිළිගන්නේ නැත. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායකය බොහෝ දුරට ඇද බැඳ තබාගන්නට හැකිවිය. විධායකයේ බලතල අඩුවිය. නැවත 2020 දී බලයට පත්වූ රජය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් යළි විධායක බලතල වැඩි කරගත්තේය.

මේ අපේක්ෂකයන් 04 දෙනාම සැළකූ විට රනිල්, සජිත් සහ අනුර කිසිම අවස්ථාවක දී විධායකයේ බලතල වැඩිකරන ව්‍යවස්ථා සංශෝධනවලට සිය ඡන්දය ප්‍රකාශ කර නැත. ඔවුන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක ව්‍යවස්ථා සංශෝධනවලට සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. නමුත් ඩලස් අලප්පෙරුම 17,18,19 සහ 20 යන ව්‍යවස්ථා සංශෝධන 04 ට ම සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඔහුගේ ප්‍රතිපත්ති හෝ හැසිරීම පිළිබඳ මෙම ලේඛකයා මෙහි කිසිදු විවරණයක් කරන්නේ නැත. යථාර්ථය තේරුම් ගැනීම පාඨකයාට බාර කරමි.

අද (19) අප මෙහි සඳහන් කර ඇති අපේක්ෂකයන් 04 දෙනා ම හෝ වෙනත් එක් අයකුට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් හෙට (20) ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සිදුවෙයි.

මේ වනවිට සමස්ත රට පුරා ම පැවැත්වෙන ජනාධිපතිවරණයක් තරමට ම මේ ජනාධිපතිවරණයේ ද ප්‍රචාරක යාන්ත්‍රණයක් දියත් වෙමින් තිබේ. ඒ අතර සියලු අපේක්ෂකයෝ බලය අල්ලා ගැනීම සඳහා තමන් වෙත මන්ත්‍රීවරු නම්මා ගැනීමේ කූඨ උපාය උපක්‍රම භාවිතා කරමින් තිබේ. කෝටි ගණනින් ලංසු තබන බව ද, අගමැතිධූර, ඇමතිධූර පමණක් නොව වාහන, ගේ දොර ඉඩ කඩම්, රට සවාරි සහ බැංකු ණය පියවීම් ද ටෙන්ඩර් මගඩි ද සාකච්ඡා වෙමින් පවතී.

එය ජනතා පරමාධිපත්‍යය නොවේ. ජනතාවගේ අයිතිය උදුරා විනාශ කිරීමකි. රටේ ජනාධිපතිවරයා තෝරාගැනීමේ සැබෑ බලය හිමිව ඇත්තේ රටේ ඡන්දදායකයන්ටය. නමුත් දැන් සිදුවන්නේ රටේ ඉතාමත් සුළු පිරිසක් විසින් රටේ සමස්ත ජනතාවගේ අනාගතය උකසට තැබීමකි.

එහි ප්‍රතිඵලය කවරක් වුව ද මෙය පැහැදිලිවම ශ්‍රී ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතල විකෘතියකි. ඒ බව මේ ලිපියේ මීට පෙර ද සඳහන් කර ඇත.

මෙරට, ජනාධිපතිවරණයෙන් හෝ ජනාධිපතිවරණක් නොමැතිව තේරී පත්වූ සියලු ජනාධිපතිවරු පිළිබඳ විමසා බැලීමේ දී පෙනී යන්නේ එය ජනතා අභිලාෂය නොවන බවයි. නැතිනම් එය ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය විකෘති කිරිමෙන් ජන මනසට සෘජු බලපෑම් කිරීමෙන් සහ සැළසුම් සහගත උපායමාර්ගවලින් බලයට පත්කළ නායකයන් බව අපට තර්ක කළ හැකිය. නමුත් ඇතැම් අවස්ථාවල දී ඒ තෝරාගැනීම් බැලූ බැල්මට නම් ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිම සාධාරණත්වය දක්නට ඇතැයි තවත් අයකුට තර්ක කළ හැකිය.

ශ්‍රී ලකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වන්නේ ජේ.ආර්.ජයවර්ධනය ඔහු අගමැතිවරයා බවට පත්වන බව දැන දැන 1977 මහ මැතිවරණයේ දී මෙරට ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශකරන අවස්ථාව වනවිට රටේ සාමාන්‍ය පුරවැසියන් විධායක ජනාධිපතිවරයකු ගැන සිහිනයෙන්වත් දැන සිටින්නට නැත. නමුත් ජේ.ආර්. තමන්ට ලැබුණු අසීමිත බලය උපයෝගී කරගෙන එතෙක් පැවැති ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම ඉවත්කර තමන් විසින්ම තමන් ජනාධිපතිවරයා‍ ලෙස නම්කරවාගෙන බලයට පත්වූයේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු ජනාධිපතිවරයා මෙරට ජනතාවගේ පරාමාධිපත්‍ය අයිතියට නොසළකා හැරියේ එලෙසිනි. අවම වශයෙන් එදා ඔහුට ජනාධිපතිවරණයක් පවත්වා බලය අල්ලාැනීමට කිසියම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සිතිවිල්ලක් පහළ වී තිබුණේ නැත.

ඉන අනතුරුව 1982 නැවත ජනාධිපතිවරණයක් පැවැත්වූ අතර එම ජනාධිපතිවරණයට ජේ.ආර්.ජයවර්ධන විධායක ජනාධිපතිවරයා ඉදිරිපත්වන්නේ තමන්ගේ ප්‍රබලත ම ප්‍රතිවාදී පක්ෂයේ නායිකා සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමිකර ඇයට මැතිවරණයට ඉදිරිපත්වීමට කිසිදු අවස්ථාවක් නොදෙමිනි. එම මැතිවරණය අන්ත දූෂිත, අක්‍රමිකතාවලින් පිරුණු මැතිවරණයක් බව අදට ද පිළිගන්නා කරුණකි.

1988 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ ද එවකට පාලක පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රණසිංහ ප්‍රේමදාසයි. සම්පූර්ණ රාජ්‍ය බලය යොදාගනිමින් මෙහෙයවූ ජනාධිපතිවරණයේ දී රට පුරාම උතුරේත් දකුණේත් භීෂණයක් නිර්මාණය වී තිබිණි. අද ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට පිවිස සිටින ජනතා විමුක්ති පෙරමුණ මෙරට ඡන්ද දායකයන්ට “ඡන්දය දැම්මොත් මරණය” යනුවෙන් දැනුම් දී තිබිණි. මේ නිසාම එවකට අගමැති වූ රණසිංහ ප්‍රේමදාස ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවටත් තමන්ගේ සිතුම් පැතුම් ආකාරයෙන් ම මැතිවරණය පවත්වා ජයග්‍රහණය කිරීම අපහසු වූයේ නැත. ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල එකම ඡන්දයක්වත් ප්‍රකාශයට පත්නොකෙරුණුු අතර බිය වැද්දවීම්, ඝාතනය කිරීම් හමුවේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථාවලට කඩා වැදුණු මැර කල්ලි තමන්ට සිතූ සිතූ ආකාරයට  ඡන්ද පත්‍රිකා සළකුණු කර පෙට්ටි පුරවා තිබිණි. මේ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ ජනමතය ප්‍රකාශයට පත්වූයේ යැයි යමකු කියන්නේ නම් ඔහු හෝ ඇය හොඳ සිහිබුද්ධයෙන් සිටින්නකු නොවිය යුතුය.

1993 මැයි 01 වැනි දා ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්ටීටීඊ ‍මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය විය. ඒ වනවිට අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ඩී.බී.විජේතුංග වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඩී.බී.විජේතුංග එක්සත් ජාතික පක්ෂයේ එවකට සිටි ජ්‍යෙෂ්ඨයකු වුව ද ඔහු ජේ.ආර්.ගේ රජයේ මුල් පෙළේ නායකයකු වූයේ නැත. ප්‍රේමදාස ජනාධිපති වූ විට ලලිත් ගාමිණී දෙදෙනාගෙන් කෙනෙකු අගමැතිවනු ඇතැයි රටේ ජනතාව සිතා සිටිය ද  ප්‍රේමදාස සිය අගමැතිවරයා ලෙස පත්කළේ පැත්තක සිටි ඩී.බී.විජේතුංගය. ඒ නිසාම අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ කොටසක් කැඩී ගොස් ප්‍රේමදාස රජය දෙදරීමට ලක්විය. ජනාධිපති වීමට නොව අගමැතිවරයකු වීමට පවා හීනෙකින්වත් සිතා නොතිබූ ඩී.බී.විජේතුංග අහම්බයෙන් මෙරට හතරවැනි විධායක ජනාධිපතිවරයා වූයේ එල්ටීටීඊ බෝම්බයක් නිසාය. ඔහු පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා ලෙස තෝරාගන්නා අවස්ථාවේදී වෙනත් තරඟකරුවකු නොසිටි බැවින් මෙවර මෙන් පාර්ලිමේන්තු ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවූයේ නැත. නමුත් ඩී.බී.විජේතුංග යනු මෙරට ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය වූ අවස්ථාවක් නොවේ.

1994 මැතිවරණය නව අපේක්ෂිකාවක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජයගනු ඇතැයි බැලූ බැල්මට පෙනෙන්නට තිබුණ ද ඇයගේ විරුද්ධවාදියා වූ ගාමිණී දිසානායක ද ප්‍රබල අපේක්ෂකයකු වූ බැවින් සටන කරට කර යන බවක් ජනතාවට දැනෙමින් තිබිණි. නමුත් අවසන් මොහොතේ කොළඹ තොටළඟ බෝම්බය පිපිරීයාමත් සමඟ ජනාධිපතිවරණය තනි පුද්ගලයකුගේ අනිවාර්ය ජයග්‍රහණයක් විය. ප්‍රධාන ප්‍රතිවාදියා මියගොස් කිසිදා දේශපාලනය නොකළ ඔහුගේ බිරිඳ අනුප්‍රාප්තික අපෙක්ෂකයා වූ අවස්ථාවේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පහසු ජහග්‍රහණයක් ලබා ගත්තේය. මේ මැතිවරණය ද ශ්‍රී ලංකාවේ සැබෑ ජනමතය පිළිබිඹු වූ මැතිවරණයක් ලෙස හැඳින්විය නොහැකි බව මේ ලේඛකයාගේ අදහසයි.

වර්තමාන වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයකින් බලය අල්ලාගනු ඇතැයි දේශපාලන විචාරකයන් අනාවැකි කියූ ජනාධිපතිවරණයක් 1999 වර්ෂයේ පැවැත්විණි. වාසිය රනිල්ගේ පැත්තට විය. චන්ද්‍රිකා ඒ වනවිටත් රාජ්‍ය නායිකාව වශයෙන් දැඩි අප්‍රසාදයට ලක්ව තිබිණි. නමුත් මෙරට එක්තරා ප්‍රකට පුවත්පත් කතුවරයකු විසින් පසුකාලයක දී පොතක් ලියා ප්‍රසිද්ධියට පත්කරන ලද කරුණුවල සඳහන් ආකාරයට සැළසුම් සහගත බෝම්බ ප්‍රහාරයක් දියත් විය. ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් දින රාත්‍රියේ නගර සභා බෝම්බය පුපුරා ගියේ නියත පරාජයක් අත්වනු ඇතැයි බොහෝ දෙනකුගේ අදහස් කළ චන්ද්‍රිකා ඉලක්ක කරගනිමිනි. ඇගේ ඇසක් අහිමිවිය. රාජ්‍ය මාධ්‍ය පැය ගණන් එක දිගට ප්‍රචාරක යාන්ත්‍රණය සියතට ගත්තේය. පැය කිහිපයකින් මෙරට ජනමතය විකෘති කළ බව අදටත් දේශපාලන විචාරකයන්ගේ මතයයි. අවසානයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකවේ ජනාධිපතිවරයා ලෙස දෙවැනි වරටත් තේරීපත් වූවාය. නමුත් ජනමතය පිළිබඳ අදටත් ගැටලුවක් තිබේ.

2005 ජනාධිපතිවරණය පැවැත්වෙන විට පාලක පොදු ජන පෙරමුණ ජනතා අප්‍රසාදයේ උපරිමයට පත්ව තිබිණි. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ අපෙක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නියත ජයග්‍රහණයක් අපේක්ෂාවෙනි. පා ගමන් ගොස් ජන බල මෙහෙයුම් පවත්වා ජනාධිපතිවරණය කලින් ඉල්ලා ගැනීමට ඔහු කටයුතු කළේ එබැවිනි. බොහෝ දේශපාලන විචාරකය් පෙන්වා දුන්නේ රනිල් පහසුවෙන් ම ජනාධිපතිධූරයට පත්වනු ඇති බවයි. නමුත් එවර තීරණාත්මක සාධකය වූයේ උතුරේ ඡන්ද ප්‍රමාණයයි. උතුරේ පළ වූ පුවත්පත් ඡන්දයට දින කිහිපයකට පෙර වෙනස් වූ ප්‍රචාරයක් ආරම්භ කර තිබිණි. ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කළේ දකුණේ ජනාධිපතිවරණයෙන් කවුරුන් ජය ලැබුව ද තම ගැටලු නොවිසඳන බැවින් ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ නොකර එය වර්ජනය කරන ලෙසයි. අවසානයේ දී ඡන්දය පැවැත්වෙන දිනයේ උතුරේ බෝම්බ කිහිපයක් ද පුපුරා ගිය බැවින් ඡන්ද මධ්‍යස්ථානයට යමින් සිටි දෙමළ ජනතාව ද ආපසු හැරී ගියහ. එදා මැතිවරණ දිනයට පෙර දිනයේ සහ මැතිවරණ දිනයේ උතුරේ පුපුරා ගිය බෝම්බවල බලපෑම දකුණේ ඡන්ද පෙට්ටියටත් දැණුනු බව ඇතැම් දේශපාලන විචාරකයන් කීව ද එය සනාථ කරන්නට හැකියාවක් නැත. නමුත් උතුරේ ඡන්ද නොමැතිව රනිල්ට ජයගත නොහැකියැයි තිබූ පූර්ව අනුමානය නිවැරදි විය ජයග්‍රහහණයක් අතේ තබාගෙන මැතිවරණයට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ ලක්ෂ එකහමාරක පමණ ඡන්ද සංඛ්‍යාවකින් පරාජය බාර ගත්තේය. මේ ඡන්දයත් සැබෑ ජන මතයේ පැහැදිළි විකෘතියකි.

2010 ජනාධිපතිවරණය පැවැතියේ යුද්ධයේ ජයග්‍රහණයේ උන්මාදය ද සමගිනි. යුද විරුවෝ, රණ විරුවෝ සෑම අතින්ම රට පුරා බලය අල්ලාගෙන සිටිය දී විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වූයේ යුද්ධයට නායකත්වය දුන් සෙන්පතියාය. ආණ්ඩුවේ අපෙක්ෂකයා යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරයේ සිටිමින් ම පැවැත්වූ මේ මැතිවරණයේ දී ඔවුන්ට රාජ්‍ය බලය ඉතාමත් වැදගත් සාධකයක් විය. මෙම මැතිවරණයේ දී ජාතික හැඳුනුම්පත හෝ වෙනත් පිළිගත හැකි හැඳුනුම්පතක් අනිවාර්ය කර තිබීමෙන් හොර ඡන්ද දැමීම අවම වූ බැවින් මේ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී යැයි බැලූ බැල්මට පෙනෙන්නට තිබුණ ද එය සැබැවින්ම යුද ප්‍රචාරක යාන්ත්‍රණයෙන් ජනමතය විකෘති කරන ලද මැතිවරණයක් බව මෙම ලේඛකයා යෝජනා කරයි. ඒ කරුණු සනාථ කළ නොහැකි වුව ද යථාර්ථය එයයි. කරුණු සනාථ කළ හැකිනම් මෙරට දේශපාලන අනාගතය බොහෝ සෙයින් වෙනස්වන බව නොකිවමනාය.

2015 ජනාධිපතිවරණය සම්පූර්ණයෙන් ම අංක විජ්ජාවකි. පොදු අපේකෂකයකු ඉදිරිපත් වුවහොත් බලවත් රාජපක්ෂ පවුල පරාජය කළ හැකියැයි සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත්වීමත් සමඟ රටේ දේශපාලනය වෙනස් විය. ඒ සඳහා දේශපාලනයට අදාල සහ අදාල නොවන පරිබාහිර කාරණා රාශියක් ද බලපෑවේය. සමාජ මාධ්‍ය බෙහෙවින් ජනප්‍රිය වූ යුගයක දී සමාජ මාධ්‍යයෙන් ජනාධිපතිවරයා තෝරාගන්නා තරමේ ප්‍රචාරයක් දියත් කෙරිණි. ජ්‍යොතිෂය පිළිබඳ තැබූ බලවත් විශ්වාසයෙන් කැඳවූ මැතිවරණය අවසානයේ රාජක්ෂ කඳවුරට ම පාරාවළල්ලක් විය. ඔවුන්ට බලය අහිමිවිය. මැතිවරණය බැලූ බැල්මට සාධාරණ වුව ද මේ මැතිවරණයේ දී සිදුවූ අංක ගණිතමය සටන ගැන සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නැත. පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මලික් ජයතිලක ලියූ “මා දුටු ජනවාරි 08” පොත කියවූ විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ දේශපාලන මතය හසුරුවාගත හැකි ආකාරයත්, එය මේ මැතිවරණයේ දී හසුරුවමින් අවසාන ප්‍රතිඵලය නිර්මාණය කළ බවත් වටහගත හැකි වෙයි. නමුත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධීයැයි කිසිවෙකුට තර්ක කරන්නට නොහැකිය. එහෙත් ඒ ජනතාවගේ නිදහස් මතය  නම් නොවේ.

2019 ජනාධිපතිවරණය රාජපක්ෂ කඳවුරේ නිර්මාණාත්මක ජයග්‍රහණයකි. 2015 දී රාජක්ෂ කඳවුර පරාජයට පත්වී හිටපු ජනාධිපතිවරයා මැදමුලනට ගොස් සුප්‍රසිද්ධ “ජනේලයේ දේශනය” පැවැත්වීමෙන් අනතුරුව ආරම්භ වූ යළි බලය අල්ලාගැනීමේ ක්‍රියාවලියේ කූඨ ප්‍රාප්තිය 2019 නොවැම්බරයේ තිබූ ජනාධිපතිවරණයයි. තැනින් තැන වඳ කොත්තු, වඳ බාර්, වඳ පෙති මතුවිය. ජාතිවාදයත් ආගම් වාදයත් සමාජයට කා වැද්දවූයේය. ජනම මනස විකෘති කරන ලද්දේ ඇස් පනාපිටමය. ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැනත් කතා කරමින් සිහින ලෝකයක සිටි මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට මේ ප්‍රචාරයන් ගැන කරන්නට කිසිම දෙයක් තිබුණේ නැත. අවසානයේ ව්‍යවස්ථා කුමන්ත්‍රණනයකින් බලය අල්ලා ගැනීමට ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උදව්වෙන් රාජපක්ෂ කඳවුරට හැකිවිය. එදා ව්‍යවස්ථාව උල්ලංඝනය වූ බවට අධිකරණයෙන් තීරණය කළ ද අදටත් හිටපු ජනාධිපතිවරයා නිදැල්ලේය. ඔහු සිටිය යුත්තේ සිරගෙදර මිස පාර්ලිමේන්තුවේ නොවේ. මේ මාධ්‍ය මෙහෙයුම් හමුවේ 2019 පාස්කු ප්‍රහාරය රටේ ජනමතය සඳහා තීරණාත්මක සාධකයක් විය. ජාතික ආරක්ෂාව සියල්ලට වඩා පෙරට ආ ජනාධිපතිවරණයක් සූදානම් වෙද්දී යුද්ධයට නායකත්වය දුන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයා රාජපක්ෂ කඳවුරේ නියෝජනය විය. මේ අතර වඳ සැත්කම් මෙන්ම කැලණි ගඟ දෙබෑකරගෙන ආ නාගයෝ ද මතුවිය. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වූ පසු සුදුවතින් සැරසුණු සැදැහවත්තු ජනාධිපතිවරණයේ සංකේතයක් රැගෙන “නාග ‍කෝලම” බැලීමට ගියහ.  මෙරට මාධ්‍ය ආයන රැසක් ර‍ටත් ජනතාවත් රවටන අවිද්‍යාත්මක කරුණු ප්‍රචරය කරමින් රටේ ජනමතය හිතා මතා සැළසුම් සහකතව විකෘති කළේය. තර්කයක් නැත. ගෝඨාභය රාජපක්ෂ ජයගත්තේ පැහැදිළි ජනවරමකිනි. නමුත් ඒ ජයග්‍රහණයේ ඡන්ද පරතරය ඇති කරන්නට දුස් තොරතුරු විශාල බලපෑමක් කළ බව නොරහසකි.

ඒ බව පසුගිය දා ජනතාව පාරට බැසීමෙන් ම පැහැදිළිය. ජාතිවාදයත්, ආගම්වාදයත්, යුද උන්මාදයත් නිසා තමන් රැවටුණු බව ජනතාවට තේරුම් යන්නට වසර 03ක් ගතවීමට පෙර හැකිවිය. ඒ නිසාම 69 ලක්ෂයක ඡන්දයෙන් තේරීපත්වූ ජනාධිපතිවරයා මෙරට ජනතාව විසින් බලයෙන් පහ කෙරුණු ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්වූයේය.

ජනතාව ඔහු බලයෙන් පහකරන්නට ආසන්න වෙද්දී එක් මන්ත්‍රීධූරයක් සහිතව පාර්ලිමේන්තුවට ආ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කෙරිණි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක විශ්වාසය දිනාගත් පුද්ගලයා අගමැතිකිරීම වුව ද ශ්‍රී ලංකාවේ සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ දෙයකි. නමුත් ඔහුට අගමැතිවීමට ජනවරමක් නැතැයි කියන පාර්ලමේන්තුවේ අනෙකුත් කණ්ඩායම් ඔහුට පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇත්දැයි උරගා බැලීමට කිසිදු අභියෝගයක් කළේ නැත. ජනාධිපතිවරණ දෙකක දී රාජ්‍ය නායකත්වයේ අත පොවන මානයට ම පැමිණිය ද අවස්ථා 05ක් මෙරට අමැතිවරයා වුව ද පසුගිය මහ මැතිවරණයේ දී එකම ආසනයක් පමණක් හිමි වූ පක්ෂක නායකයෙක් මෙරට අගමැතිවූවා පමණක් නොව 69 ලක්ෂයේ ජනාධිපති ඉල්ලා අස්වූ පසු ලක්ෂයක හෝ ජනවරමක් නැති අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා වූයේය.

මේ සියලු කරුණු එක් වැකියකට ලඝු කරගත්තොත් කීමට ඇත්තේ “මෙරට ප්‍රජාතන්ත්‍රවාදය යනු විකෘතියකි” යනුවෙනි. මේ රටේ ජනතාවට එපා ම වී ඇති විධායක ජනාධිපති ධූරයෙන් තවමත් රට පාලනය වෙයි. විධායක ජනාධිපතිවරයා පත්වන්නේ ද ජනාතවගේ කැමැත්ත අනුව නොවන බව මේ ලේඛකයා උදාහරණ සහිතව පැහැදිළි කළේය. බොහෝ අයට වෙනත් තර්ක තිබීමට පුළුවන. නමුත් මේ සැබෑ ජනමතය නොවේ.

අද නිතරඟයෙන් ජනාධිපතිවරයකු පත් නොවුනහොත් හෙට ඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයකු පත්වනු ඇත. ඒ කවුරුන් පත්වුව ද ඔහු ජනතාවගේ නායකයා නොවේ. ජනතාවගේ නායකයකු නොවන මිනිසකු විසින් ජනතාව පාලනය කරන කල්හි රටක් ගොඩනැගිය හැකි ද යන්න ප්‍රශ්නාර්ථයකි.

(සජීව විජේවීර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!