ශ්‍රී ලංකාවේ ඇතැම් ආගමික පාසල් විසින් අනිවර්ය අධ්‍යාපනය හදාරන වයසේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා නොදෙන බවත්, එවැනි ආයතන නියාමනය නොවන බවත් විගණන දෙපාර්තමේන්තුව විසින් සැකසූ වාර්තාවක දැක්වේ.
මේ හේතුවෙන් සෑම වර්ෂයක ම මෙරට දරුවන් දහස් සංඛ්‍යාත පිරිසකට නිසි අධ්‍යාපනය අහිමිවීමේ ගැටලුවක් උදාවී ඇත.
ලියාපදිංචිය සහිත ඉස්ලාම් – ආරාබි පාසල් / මද්‍රසා පාසල් 317ක පාස් වියේ සිටින සිසුන් 28,424ක් ඉගෙනුම ලබන බවත් එම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියාමනයකින් තොරව අනිවාර්ය අධ්‍යාපන වයසේ සිටින දරුවන් සඳහා නියමිත පිළිගත් සාමාන්‍ය අධ්‍යාපනයෙන් බැහැරව ක්‍රියාත්මක වන බවත් මෙම විගණනයේ දී අනාවරණය වී තිබේ.
ලියාපදිංචියක් නොමැති මද්‍රසා පාසල් සංඛ්‍යාව 1,383කි. ඒවායේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යා පිළිබඳ දත්ත නැත.
අරාබි පාසල්වල පරිපාලනය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවතිය ද 1980 දශකයේ දී මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ස්ථාපනය කිරීමෙන් පසු එයට භාර දී තිබේ.
2020 අගෝස්තු 19 වැනි දින වනවිට මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලද වාර්තාවලට අනුව ලියාපදිංචි වී ඇති අරාබි පාසල් සංඛ්‍යාව 317කි. එම පාසල් කාණ්ඩ 04ක් යටතේ ලියාපදිංචි කර ඇත.
පාසල් වර්ගය | සංඛ්‍යාව | ළමුන් සංඛ්‍යාව | ගුරුවරු සංඛ්‍යාව |
ජ්‍යෙෂ්ඨ අරාබි පාසල් | 19 | 3,117 | 390 |
අරාබි පාසල් | 93 | 11,269 | 1,419 |
මූලික අරාබි පාසල් | 147 | 13,569 | 1,800 |
මූලික අරාබි පාසල් (තාවකාලික) | 58 | 4,367 | 537 |
එකතුව | 317 | 32,322 | 4,146 |
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ MRCA/R/9/1/1 දරන 2020 අගෝස්තු 12 දිනැති ලිපිය අනුව අරාබි පාසල්වල අධ්‍යයන කාලය වසර 6-8 අතර කාලයකට සීමා වෙයි. සාමාන්‍යයෙන් වයස අවුරදුු 13-15ත් අතර ආරම්භක වයස ලෙස එම සිසු දරුවන් බඳවා ගන්නා බව ද දක්වා ඇත.
අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතුයැයි නීතියෙන් සම්මත වී ඇති වයසක සිටින මෙම දරුවන් සාමාන්‍ය අධ්‍යාපනය ලබාදෙන රජයේ පාසල් පිහිටා ඇති තිබිය දී ඒවාට නොයවා මෙවැනි පාසල් වෙත යොමුවීම නියාමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වී නැත.
එබැවින් අනිවාර්ය අධ්‍යාපනය හැදෑරිය යුතු වයසේ පසුවන මේ දරුවන් ලැබිය යුතු ප්‍රමිතිසහගත විෂයානුබද්ධ දැනුම, ක්‍රීඩාව, සෞන්දර්යය, ජීවන කුසලතා වැනි අත්‍යාවශ්‍ය විෂය හා ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් නොමැතිව වැඩිහිටියකු ලෙස සමාජගත වීමට ඉඩ සැළැසී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ හා මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් වී නැති බව ද විගණන දෙපාර්තමේන්තුව විසින් නිරීක්ෂණය කර තිබේ.
මෙම පාසල්වල ඉගෙනුම ලබන සිසුන් තුන් අවුරුදු පාඨමාලාව සම්පූර්ණ කර “අල් ආලිම් මුතවස්සිතා” විභාගයට පෙනී සිටිය යුතු අතර පස් අවුරුදු පාඨමාලාව සම්පූර්ණ කර “අල් ආලිම් සානවියියා” විභාගයට පෙපනී සිටිය යතුයැයි විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශය වී තිබේ. එසේම අරාබි විදුහලක ඉගෙනුම නොලබන අයකුට ද මෙම විභාග සඳහා පිළිවෙළින් පෙනී සිටීමට අවස්ථාව ඇත.
නමුත්, ඛේදවාචකය වන්නේ අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතු ශ්‍රී ලාංකීය දරුවන් පිරිසක් ආගමේ නාමයෙන් නිවැරදි අධ්‍යාපනයට යොමු නොවීමයි. ආගම වෙනුවෙන් සාදාගත් විෂය නිර්දේශයක හිරවී අනිත් අධ්‍යාපන ක්‍රමවේද සියල්ල අහිමි කරගන්නා ඔවුන්ට අනිවාර්ය අධ්‍යාපනය පවා අහිමිවන ආකාරය සංඛ්‍යාත්මක දත්ත අනුව වඩාත් තහවුරු වෙයි.
මූලික අරාබි පාසල් 205ක සිසුන් 17,936ක් අධ්‍යාපනය ලැබුව ද ඉන් 2017/18 වර්ෂවල දී විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 3,050ක් පමණි. එය අධ්‍යාපනය ලබන ළමුන් සංඛ්‍යාවෙන් 17%ක් වැනි ඉතාමත් අඩු අගයක් ගනී. එසේම එම විභාගයෙන් සමත්ව තිබුණේ විභාගයට පෙනී සිටි සිසුන් ප්‍රමාණයනේ 26%ක් වැනි තවත් සුළු ප්‍රමාණයකි.
නමුත් 3,050ක ළමුන් පිරිසක් මුහුණ දුන් එම විභාගය පැවැත්වීමට පමණක් විභාග දෙපාර්තමේන්තුව 2018 වර්ෂයේ දී රුපියල් ලක්ෂ 101ක් වැය කර තිබිණි. (රුපියල් 10,126,352.00ක්)
මෙහි තවත් ගැටලුවක් වන්නේ මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව නැති පාසල් 133ක් පිළිබඳ දත්ත විගණන දෙපාර්තමේන්තුවට ලැබී තිබීමයි. ඉන් වැඩිම පාසල් සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය. එම සංඛ්‍යාව 16කි. අම්පාර ද්ිස්ත්‍රික්කයේ පාසල් 12ක්, මහනුවර දිස්ත්‍රිික්කයේ 11ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 10ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 10ක් වශයෙන් ලියාපදිංචි නැති ආගමික පාසල් පිහිටා ඇත.
එම පාසල් පිහිටි දිස්ත්‍රික්ක පහත සඳහන් කර ඇත.
කොළඹ 09
ගම්පහ 10
කළුතර 07
ගාල්ල 03
මාතර 07
හම්බන්තොට 02
කෑගල්ල 09
කුරුණෑගල 16
පුත්තලම 05
අනුරාධපුරය 08
පොළොන්නරුව 02
මාතලේ 05
මහනුවර 11
නුවරඑළිය 02
රත්නපුරය 01
බදුල්ල 04
අම්පාර 12
මඩකලපුව 06
ත්‍රිකුණාමලය 10
වවුනියාව 03
මන්නාරම 01
එකතුව 133
කෙසේ වෙතත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ ලියාපදිංචි කර ඇති අරාබි පාසල් 317 අතරින් 32ක් දැනට ක්‍රියාත්මක නොවන බවයි. පාසල් 205ක සාමාන්‍ය පෙළ පමණක් උගන්වන බවත් 122ක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ උගන්වන බවත් දක්වා ඇත.
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 2019 වර්ෂය සඳහා පාසල් 205ක සාමාන්‍ය පෙළ දක්වා උගන්වන බව කියා තිබුණ ද ඉන් 48ක විභාගයට පෙනී සිටි සිසුන් ගැන දත්ත ඉදිරිපත් කරන්නට හැකියාව ලැබී නැත.
උසස් පෙළ විභාග සඳහා පාසල් 112ක සිසුන් පෙනී සිටින බව එම දෙපාර්තමේන්තුව පවසා තිබුණ ද සැබිවින්ම උසස් පෙළ සඳහා පෙනී සිටි සිසුන් වාර්තා වී ඇත්තේ පාසල් 89කින් පමණි.
පාස්කු ප්‍රහාරයෙන් පසු මද්‍රසා අධ්‍යාපනය පරීක්ෂා කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව මේ වනවිට සකසා අවසන් කර තිබේ.
එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළල මද්‍රසා පාසල් 1679ක් ස්ථාපිත කර තිබේ. නමුත් ලියාපදිංචි කර ඇත්තේ ඉන් 317ක් පමණි. ලියාපදිංචි පාසල්වල පමණක් ඉගෙනුම ලබන සිසුන් සඛ්‍යාව 22,000 ඉක්මවන අතර අනෙක් පාසල්වල සිසුන් සංඛ්‍යාව ගැන නිශ්චිත දත්ත නැත.
එමෙන් ම මේ පාසල්වල ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විෂය නිර්දේශයක් විධිමත් ලෙස ඉගැන්වෙන්නේ නැත. ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි කිසිදු ආයතනයක් මගින් මෙහි අධ්‍යාපන කටයුතු අධීක්ෂණය කෙරෙන්නේ ද නැත.
අවම වශයෙන් මේ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව, උගන්වන ගරුවරුන් සංඛයාව, ගුරුවරුන් අතර දේශීය හා විදේශීය අය කොපමණ ප්‍රමාණවලින් සිටින්නේ ද යන්න, ගුරුවරුන්ගේ සුදුසුකම් කවරේද, ළමුන් සඳහා අවශ්‍ය අවම මූලික පහසුකම් තිබේ ද ? මෙම පාසල්වල මූල්‍ය තත්වය කොපමණ ද අරමුදල් සපයාගන්නා ප්‍රභවයන් කුමක්ද යන්න පිළිබඳ කිසිදු නියාමනයක් හෝ සොයාබැලීමක් හෝ රජය පාර්ශවයෙන් සිදුව්නනේ නැත.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු දෙදෙනකු, තුන්දෙනකුගෙන් යුතු පර්යේෂකයන් කණ්ඩායමක් සහ කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ලියාපදිංචි මද්‍රසා පාසල් පිළිබඳ විශේෂ පර්යේෂණයක් කර තිබිණි.
එහි දී අනාවරණය වී ඇත්තේ මද්‍රසා පාසල්වලින් 22%කට 5වන ශ්‍රේණිය සමත්වීම අවම අධ්‍යාපන සුදුසුකම් ලෙස සළකන බවයි. 52%ක අවම අධ්‍යාපන සුදුසුකම අපොස සාමාන්‍ය පෙළ මට්ටමයි. එමෙන් ම පාසල්වලින් 90%ක පූර්ණ කාලීන පාඨමාලා පවත්වන අතර 10%ක අර්ධ කාලීන පාඨමාලා පවත්වයි. මේ පාසල්වල ඉගැන්වීම් කාලය වසර 04-08ත් අතර වෙයි.
විගණන දෙපාර්තමේන්තුව පවසන්නේ මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇතත් එම පාසල් ලියාපදිංචි කිරීම හා පිළිගැනීම සඳහා නෛතික පදනමක් මෙතෙක් නිසි පරිදි සැකසී නැති බවයි.
විගණකාධිපතිවරයා සඳහන් කරන්නේ අනිවාර්ය අධ්‍යාපන වයස්වල පසුවන දරුවන් අති විශාල පිරිසක් මේ පාසල්වලට ඇතුළත් කර ඇති බැවින් එම පාසල් ස්ථාපිත කිරීම, ලියාපදිංචි කිරීම, පවත්වාගෙන යාම පිළිබඳ පිළිගත් නිර්ණායක සකස් කර ඒව නියාමනය කළ යුතු බවයි.
මෙලෙස ආගමික කටයුතු මුවාවෙන් පවත්වාගෙන යනු ලබන ආයතන විසින් අනිවර්ය අධ්‍යාපනය හදාරන වයසේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා නොදී වෙනත් විවිධ පරමාර්ථ උදෙසා පවත්වාගෙන යන ආයතන නියාමනය කළ යුතු බවත් දරුවන්ගේ අනිවාර්ය අධ්‍යාපනය අහිමි කරන මෙවැනි ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න විසින් නිකුත්කළ වාර්තාවේ දක්වා ඇත.