“පැතිරයන කොරෝනා වයිරසය පිටරටකින් ආ දරුණු එකක්” – සෞඛ්‍ය ලේකම්

0
570

මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැතිර යාම ආරම්භ වූ කොරෝනා වයිරසයට වඩා වෙනස් වූ දරුණු තත්ත්වයේ කොරෝනා වයිරසයක් දැන් ශ්‍රී ලංකාවේ පැතිරයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කරන ලද පර්යේෂණයකින් මෙම කරුණු තවුරු වී ඇත. පර්යේෂණ සිදුකර ඇත්තේ මහාචාර්ය නීලිකා මලවිගේ විසිනි. මීට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වයිරසය B1, B2, B1.1 සහ B4 යන වයිරස කාණ්ඩවලට අයත් වූ අතර දැන් පැතිරයන වයිරසය B1.42 කාණ්ඩයට අයත් බව එම පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ. එය වඩාත් ප්‍රබල කොරෝනා වයිරසයක් බවත් එය කෙටි කාලයකින් විශාල පිරිසකට පැතිරිමේ හැකියාවක් සහිත දරුණු වයිරසයක් ලෙස හඳුනාගෙන තිබෙන බවත් පර්යේෂකයෝ කියති.

මහාචාර්ය නීලිකා මලවිගේ සමග ආචාර්ය චන්දිමා ජීවන්දර, ආචාර්ය දේශනී ජයතිලක, ආචාර්ය දිනූක ආරියරත්න, ලක්සිරි ගෝමස් සහ ඩයනාත් රණසිංහ යන පිරිස මෙම පර්යේෂණයට දායක වූහ. මෙම පර්යේෂණය සඳහා අරමුදල් ලබා දී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙනි.

මෙම පර්යේෂණයේ දී මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානය, බේරුවල ධීවර වරාය හා රෝහල්වලට ඇතුළත් කරන ලද රෝගීන්ගේ වයිරස කාණ්ඩ කිහිපයක් පරීක්ෂාවට භාජනය කර ඇත. එමගින් පැහැදිලි වී ඇත්තේ රටේ විවිධ ස්ථානවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තුළ ඇත්තේ එකම වයිරස් ප්‍රබේදයක් බවයි. මෙම වයිරස් ප්‍රබේදයේ ඉහළ ධාරිතාවක් පෙන්වන අතර කෙනෙකුගෙන් තවත් පිරිසකට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ද වැඩි අගයක් ගන්නා බව පර්යේෂකයෝ කියති.

මේ වයිරසය මෙහි තිබූ වයිරසයේ ම වර්ධනයක් නොව විදේශ රටකින් පැමිණෙන්නට ඇති බව ද පැවසූ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඒ පිළිබඳ තහවුරු කිරීමට අනිකුත් රටවල වයිරස ප්‍රබේද ගැන වාර්තා ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ නොමැති බැවින් අපහසු බව ද සඳහන් කළේය. කෙසේ වෙතත් මේ වයිරසය පැමිණියේ කවර රටක සිට ද යන්න ඉදිරියේ දී සොයාගත හැකිවන බව පර්යේෂකයන්ගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here