spot_img
spot_imgspot_img

තත්වය පාලනයට හමුදාවලට පූර්ණ බලතල දෙයි

පුවත්

විදෙස්

වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ දැනට රටේ උද්ගත වී ඇත්තේ පැසිස්ට් වාදී කැරැල්ලක් බවත්, එය මර්ධන කර සාමය ආරක්ෂා කිරීම සඳහා මාණ්ඩලික ප්‍රධානී ඇතුළ ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් බලය ලබාදුන් බවත් කියා සිටියේය.

ඒ සඳහා මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයාගෙන් යුතු විශේෂ ආරක්ෂක කමිටුවක් පත්කළ බවත් ඒ සඳහා කිසිදු දේශපාලනඇඟිලිගැසීමක් නැති බවත් කීවේය. මේ තත්වය පාලනය කර තමන්ට වාර්තාවක් ලබාදීම කළ යුතු බව ද හෙතෙම පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවන තත්වය සාකච්ඡා කරන්න සඳුදා දවල් පක්ෂ නායකයන් මුණ ගැසුණා. ලබන සතියේ දී ඡන්දය පවත්වා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්නත් තිරණයක් ගත්තා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන්න යන විට මම අගමැති කමනේ ඉවත්වෙනවා. නැවත සිකුරාදා රැස්වෙන්න තීරණය කරලා අපි විසිරිලා ගියා. ඒ අතෙර් දී වෙනත් අය සාකච්ඡා කරලා ජනාධිපති වෙන්න අගමැති වෙන්න සහය ඉල්ලන්න ගියා.

මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් රටේ තිබුණේ. ඊයේ ජනාධිපතිවරයා රටෙන් පිටව ගියා. පිටව යන බවත් ඉල්ලා අස්වන බවත් කිව්වා. බුද්ධි අංශයට ලැබී තිබුණු තොරතුරු අනුව එතුමා ගියාට පස්සේ ජනාධිපතිවරයෙක් ‍තෝරන්න ගියත් අරගලයේ හිටි අය සංවිධානය කරන්න සූදානම් වෙලා තිබුණා අගමැති කාර්යාලය අල්ලන්න. ගුවන් හමුදාපතිගේ නාවික හමුදාපතිගේ ගෙවල් වටලන්න තීරණයක් තිබුණා. පාර්ලිමේන්තුව වටලන වැඩකුත් තිබුණා.

කතානායක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එක්ක සාකච්ඡා කරලා මාණ්ඩලික ප්‍රධානී එකඟ වුණා පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න. අද මේ ආපු කණ්ඩායම් කැරළිගනවා. ගෝලාහල කරනවා ඒ අයට අගමැති කාර්යාලයට යන්න කිසිම හේතුවක් නෑ. නීත්‍යානුකූලව මම වැඩබලන ජනාධිපති වෙලා කතානායකවරයා සමඟ එකතුවෙලා ජනාධිපතිවරයෙක් පත්කරගන්න එක නවත්වන්න. ඒ අයට ඕනවෙලා තියෙන්නේ තමන්ගේ අපේක්ෂකයා තෝරගන්න. සමහරු කියනවා රටේ ව්‍යවස්ථාව වැඩක් නෑ. පාර්ලිමේන්තුව වැඩක් නෑ. අපි කියන එක කරන්න කියලා. මේ රටේ ව්‍යවස්ථාවේ ජනතාව‍ගේ සර්වජන ඡන්දයත්, පරමාධිපත්‍යයත් ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුවේ. අපිට ව්‍යවස්ථාව වැඩක් නෑ. ව්‍යවස්ථාව ඉරලා දාන්න කියනවා නම් ඒක ව්‍යවස්ථා විරෝධී වැඩක්. මේ රටේ පැසිස්ට්වාදී දේශපාලන පතුරුවන්න හදනවා. ඒකට සම්ප්‍රදායික අයත් එකතුවෙලා. ඒ නිසා ආරක්ෂක අංශ ඉල්ලා සිටියා හදිසි නීතියත්, ඇඳිරිනීතියත් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා මම අද ඒවා ක්‍රියාත්මක කරගෙන යනවා. මිනිසුන්ගේ නිවාස ආරක්ෂා කරන්න ඕනෑ. මේ රටේ ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය අල්ල‍ගන්න දෙන්න බෑ. ඒ නිසා හදිසිනීතිය ඇඳිරිනීතිය යෙදවලා මේ තත්වය නැවත සාමාන්‍ය තත්වයට ගන්න කියලා ආරක්ෂක අංශවලට මම උපදෙස් දීලා තියෙනවා. මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාවෙන් යුතු කමිටුවකට සම්පූර්ණ බලය දුන්නා. ඒකට දේශපාලන බලපෑමක් නෑ. සාමය ආරක්ෂා කරලා මට වාර්තා කරන්න සම්පූර්ණ බලය දුන්නා. ත්‍රිවිධ හමුදාවට සහ පොලිසිය ජනතාවගේ සහය ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!