මේ වනවිට කොළඹ නගරයට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව විශාල වශයෙන් කැඳවා ඇති අතර සෑම මාර්ගයක් ම අවහිර කර තිබේ.
පොලිසිය ඊයේ අධිකරණයට කරුණු වාර්තාකරමින් සාමාන්‍ය ජනජීවිතයට බාධා කරමින් උද්ඝෝෂකයන් මාර්ග අවහිර කරන බැවින් එම උද්ඝෝෂණවලට එරෙහිව වාරණ නියෝග නිකුත්කරන ලෙස ඉල්ලා සිටිය ද අධිකරණය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.
සාමාන්‍ය ජන ජීවිතය වෙනුවෙන් යැයි කියමින් මාර්ග අවහිර කිරීම වැළැක්වීමේ නියෝග ඉල්ලූ පොලිසිය මේ වනවිට කොළඹ නගරයට පැමිණෙන සියලු මාර්ග වසා දමා මාර්ග බාධක ඉදිකර දැඩි රැකවල් යොදා ඇත.
ඔවුන් සාමාන්‍ය ජනජීවිතයට බාධා කරමින් සිටින්නේ අධිකරණයට වාර්තාකළ කරුණුවලට සම්පූර්ණයෙන් ම පටහැනිව යමින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමිනි.
මේ වනවිට පොලිස් කැරළි මර්ධන ඒකකටය අමතරව, යුද ටැංකි, බෆල් රථ සහ හෙලිකොප්ටර් යානා ද ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා සූදානමින් සිටී.
රටේ විවිධ ප්‍රදේශවලින් දුම්රියෙන්, බස් රථ සහ වෙනත් වාහනවලින්, පාපැදිවලින් සහ පා ගමනින් අති විශාල ජනතාවක් කොළඹ දෙසට ගමන් කරමින් සිටින අතර අරගලකරුවන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වනතුරු මහ පාරේ මියගිය ද අඛණ්ඩ අරගලයක් සිදුකරන බවයි.
ඊයේ (08) සවස කැලණිය විශ්වවිද්‍යාලය අසළින් ආරම්භ වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විවිධ උත්සාහ දැරුවද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අතිවිශාල පිරිසක් එම බලපෑම් මධ්‍යයේ වුව ද කොළඹ නගරට පැමිණ රැය පහන්කළහ. ඔවුහු තවමත් කොළඹ නගරයේ රැඳී සිටිති.
(ඡායාරූප ඊයේ දිනයේ එල්ලකරන ලද ප්‍රහාර කිහිපයකි)







