-0.5 C
New York

ලබන සතියේ නව ආණ්ඩුවක් පිහිටුවනවා යැයි වාසු කියයි. ප්‍රායෝගිකව එය කළ හැකි අයුරු මෙන්න

Published:

සර්ව පාක්ෂිික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය 113ක සරල බහුතරය තම කණ්ඩායම සතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් හෙතෙම මෙසේ කීවේය.

ඔහු කියා සිටින්නේ ජනාධිපතිවරයා නොතකා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තම කණ්ඩායම ඉදිරි දින කිහිපයේ දී කටයුතු කරන බවකි.

ඔහු පවසන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයට අන් සියලු බලයන් යටපත්වන බවයි. මෙලෙස පිහිටුවනු ලබන සර්ව පාක්ෂිික ආණ්ඩුවේ පක්ෂ නායකයන් ඇමතිධූර භාර නොගන්නා බවත්  ඔවුන් ප්‍රතිපත්ති සම්පාදනය කරන නායකත්ව මණ්ඩලයක් ලෙස කටයුතු කරන බවත් වාසුදේව නානායක්කාර වැඩිදුරටත් කීවේය.

නව අගමැතිවරයකු පත්කිරීමේ ක්‍රමවේදය ගැන දැනටමත් සාකච්ඡා කර ඇති බැවින් ඉදිරි සතියක පමණ කාලයේ දී එම ආණ්ඩුව ස්ථාපිත කළ හැකි බව ද හෙතෙම පවසයි.

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ඇතුළු ස්වාධීන වූ කණ්ඩායම සහ දැනටත් ඇමතිධූර දරන කිහිප දෙනකු ද එක්ව එම කණ්ඩායමේ සිටින්නේ මන්ත්‍රීවරු 48 දෙනෙකි. සරල බහුතරය වූ 113 ලැබෙන ආකාරය ගැන ඔහු කිසිවක් කීවේ නැත.

කෙසේ වෙතත් නව අගමැතිවරයකු පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. දැනට අගමැතිධූරය දරන රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වන්නේනම් අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයාට සිදුවෙයි.

කෙසේ වුවද අගමැතිවරයකු ලෙස පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇතැයි ජනාධිපතිවරයා විශ්වාස කරනු ලබන ඕනෑම මන්ත්‍රීවරයකු අගමැතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇත.

පාර්ලිමේන්තුව තුළ තමන්ට 113ක සරල බහුතරය ඇත්නම් එය කතානායකවරයා හරහා ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා යැවීමෙන් අගමැතිවරයා ලෙස තම කණ්ඩායමේ අයකු පත්කිරීමට කටයුතු කරන්න යැයි ඉල්ලීමක් කිරීමට ඕනෑම දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට හැකියාව ඇත. එසේ වුව ද ජනාධිපතිවරයා එම ඉල්ලීම නොතකා හරින්නේ නම් එ් සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග ද තිබේ.

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර එය ජයග්‍රහණය කළ යුතුය. නැතිනම් විශ්වාසය පළකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර එය සරල බහුතරයකින් පරාජය කළ යුතුය.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස සිටිය දී සමගි ජනබලවේගය විසින් විශ්වාසභංගයක් සහ දෝශාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද ‍රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්වීමෙන් පසු එවැන්නක් ඉදිරිපත් කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් මේ දක්වා ඉදිරිපත් වී නැත.

වාසුදේව නානායක්කාර 113 ඇතැයි ද තම කණ්ඩායම නව රජයක් පිහිටුවනවා යැයි ද මාධ්‍ය හමුවේ කියා සිටිය ද ලබන සතියේ නව ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැකියාව ඇත්දැයි යන්න ගැටලුවකි.

Related articles

Recent articles

spot_img