-3.6 C
New York

අරගලයට වැට බැඳ, ජනපති රකින්න හැදූ බුද්ධි වාර්තාවක් එළියට

Published:

අරගලකරුවන්ගෙන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීම සඳහ‍ා කොළඹ යුද බලෙකොටුවක් බවට පරිවර්ථන කිරීමේ ආරක්ෂක සැළැස්මක් මේ වනවිට හෙළිදරව් වී තිබේ.

කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධකාරී නිශාන්ත චන්ද්‍රසේකර විසින් මේ සම්බන්ධ විශේෂ වාර්තාවක් සකස්කර එය කොළඹ මධ්‍යම අධි ආරක්ෂක කලාපයේ මාර්ග බාධක, ආරක්ෂක රාජකාරී නියුක්ත සියලුම රාජකාරී අධීක්ෂණ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී සහ පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරීවරුන් සහ කලාපභාර පොලිස් අධිකාරීවරුන් වෙත යවා තිබේබ.

එම වාර්තාවේ අරමුණුවල දැක්වෙන්නේ විරෝධතාකරුවන්ගෙන් ජනාධිපතිවරයා ආරක්ෂාකරගැනීම පළමු රාජකාරී අරමුණ බවයි. ඊට අමතරව රජයේ නිල නිවාස, රජයේ කාර්යාල, ආයතන වෙත විරෝධතා කරුවන් අයථා ඇතුළුවීම වැළැක්වීමටත් දේපල අනර්ථය සිදුකිරීම සහ කලහකාරී හැසිරීම වැළැක්වීමත් අරුමුණ බව දන්වා තිබේ.

මේ සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක අද (08) සිට කොළඹට කැඳවා ඇති අතර මාර්ග රැසක් අවහිර කරමින් විරෝධතා කරුවන්ට කොළඹට කිසිම ආකාරයකින් ඇතුළුවීම වැළැක්වීම ආරක්ෂක අංශවල අභිලාෂය වී තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ට ඕනෑම දේශපාලන මතයක් දැරීමට අයිතියක් ඇති අතර ඔවුන්ට එය ප්‍රකාශ කිරීමට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ද හිමිවෙයි. තව ද සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට ම සාමකාමීව උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය ද නිදහසේ පොදු ස්ථානවල  සැරිසැරීමේ අයිතිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇත. ව්‍යවස්ථාවෙන් හිමිව ඇති එම අයිතිවාසිකම කිසිම ආකාරයකින් සීමා කිරීමට කිසිදු බල අධිකාරියකට හැකියාවක් නැත.

එසේ තිබිය දී ආරක්ෂක අංශවල මෙම වාර්තාවේ දැක්වෙන්නේ උද්ඝෝෂණ, විරෝධතා, පෙළපාළි දේශපාලන පටු අරමුණු ඉටුකර ගැනිමේ අදහසින් සිදුවන නීති විරෝධී කාර්යයක් බවයි.

ආරක්ෂක අංශ විරෝධතාවක් ආරම්භවීමටත් පෙර එවැනි අර්ථකථනයක් සපයන්නේ කෙසේ ද යන්න ගැටලුවකි.

දැනට යොදා ඇති මාර්ග බාධකවලට අමතර ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ අමතර පොලිස් නිලධාරී යොදවා පහත සඳහන් ස්ථානයන්හි මාර්ග බාධක යෙදවීමට ද උපදෙස් දී තිබේ.

  1. එන්.එස්.ඒ. වටරවුම ගාලු මුවදොර ආරම්භය අසළ මාර්ග බාධකය
  2. සෙරමික් හංදිය යෝර්ක් වීදියආරම්භක ස්ථානය
  3. ඕල්කොට් මාවත පහළ චැතම් වීදිය හංදිය අසළ මාර්ග බාධකය
  4. ගපූර් ගොඩනැගිල්ල ආසන්නයේ සිට යෝර්ක් වීදිය දක්වා බාරෝන් ජයතිලක මාවත අසළ මාර්ග බාධකය
  5. ගපූර් ගොඩනැගිල්ල ආසන්නයේ සිට යෝර්ක් වීදිය හන්දිය දක්වා‍ ලේඩි බැස්ටියන් මාවත අසළ මාර්ග බාධකය.

මෙම මාර්ග බාධක හරහා කිසිදු ආකාරයකින් විරෝධ රැස්වීම්, පෙපළපාලි සඳහා ගමන් කිරීටම අවසර නොදිය යුතුයැයි ද සඳහන් කර ඇත.

මෙම වාර්තාව අනුව පසුගිය 06 වැනි දා සිට මාර්ග බාධක අඛණ්ඩව දිවා රාත්‍රී වශයෙන් සේවා මුර දෙකක් යටතේ පවත්වාගෙන යන අතර ඒ සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 11 දෙනක පොලිස් පරීක්ෂකවරු 18 දෙනකු සහ පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල්වරු 775 දෙනකු සේවයට යොදවා තිබේ.

එමෙන් ම නිකුත් කර ඇති වාර්තාවේ දැක්වෙන්‍නේ අධිකරණ ක්‍රියාවලියක් මගින් පහත සඳහන් කලාපවලට,මාර්ගවලට සහ ප්‍රදේශවලට උද්ඝෝෂකයන්ට ඇතුළුවීම වැළැක්වීම සඳහා අධිකරණ නියෝග ලබාගත යුතු බවයි.

  1. සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වා ලෝටස් පාර
  2. සෙරමික් හන්දියේ සිට පොලිස් මූලස්ථානය දක්වා යෝර්ක් වීදිය
  3. ඕල්කට් මාවත සිට යෝර්ක් වීදිය දක්වා පහළ චැතැම් වීදිය
  4. ඕල්කට් මාවත සිට ලෝටස් පාර ලේඩ්න් බැස්ටියන් මාවත
  5. ගෆූර් ගොඩනැගිල්ල ආසන්නයේ සිට යොර්ක් වීදිය දක්වා බාරෝන් ජයතිලක මාවත
  6. ගෆූර් ගොඩනැගිල්ල ආසන්නයේ සිට යෝර්ක් වීදිය GOH හන්දිය දක්වා ලේඩ්න් බැස්ටියන් මාවත
  7. එන්එස්ඒ වටරවුමේ සිට පොලිස් මූලස්ථානය දක්වා චෛත්‍ය පාර
  8. එන්එස්ඒ වටරවුමේ සිට ජනාධිපති මාවත
  9. බැංකු මාවත
  10. කැනල් පාර
  11. රෝහල් පාර
  12. ඉහළ චැතම් වීදිය
  13. මුදලිගේ මාවත
  14. බාරොන් ජයතිලක මාවත

මෙම විශේෂ රාජකාරී සඳහා පැමිණෙන සියලුම නිලධාරීන් අද (08) කොළඹ දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සිව්වැනි මහලේ සම්මන්ත්‍රණ ශාලාවේ දී බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පවත්වන ලද විශේෂ උපදෙස් ලබාදීමේ රැස්වීමකට ද සහභාගී වීමට නියමිතව තිබිණි.

පිටු 13කින් යුතු එම සම්පූර්ණ වාර්තාව පහත සඳහන් කර තිබේ.

Related articles

Recent articles

spot_img