ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ දේශපාලන උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අද (08) උදෑසන දකුණේ නාරා නගරයේ දේශනයක් පවත්වමින් සිටියදී අබේ මහතාට කිසියම් පුද්ගලයෙකු විසින් දෙවරක් වෙඩි තබා ඇත.
ඔහු වහා ඇද වැටී ඇති අතර ළඟම තිබෙන රෝහලට ගෙන යන ලදී. එම ස්ථානයේ ගත් ඡායාරූපවලින් පෙනී ගියේ ඔහුගේ සිරුරෙන් රුධිරය ගලන ආකාරයයි.
එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් තුවක්කුකරු මැඩපවත්වා ඇති අතර, 41 හැවිරිදි සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ.
සිද්ධිය වූ වහාම මාධ්‍ය වෙත අදහස් දක්වමින් වත්මන් අගමැති ෆුමියෝ කිෂිඩා වාර්තාකරුවන්ට පැවසුවේ අබේ මහතා “ඉතා බරපතල තත්ත්වයේ” සිටින බවයි.
“දැනට වෛද්‍යවරු ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිති,” කිෂිඩා මහතා කඳුළු සඟවාගෙන සිටින බවක් පෙනෙන්නට තිබූ අතර, අබේ මහතා දිවි ගලවා ගැනීමට “ඔහුගේ හදවතින්ම යාච්ඤා කරන” බව පැවසීය.
ඔහු මෙම ප්‍රහාරය හෙළා දකිමින්, “එය ම්ලේච්ඡ හා ද්වේශසහගත ක්‍රියාවක් වන අතර එය ඉවසා සිටිය නොහැක.”යනුවෙන් පැවසීය.
අගමැතිවරයාගේ බෙල්ලේ දකුණු ප්‍රදේශයේ වෙඩි උණ්ඩයක තුවාලයක් තිබූ බවත්, ඔහුගේ පපුවේ වම් පැත්තේ සමට යටින් ලේ ගැලීමක් ඇති බවත් ආපදා කළමනාකරණ ඒජන්සිය තහවුරු කළේය.
වෙඩි දෙකම වැදුනේද, එසේත් නැතිනම් වෙඩි උණ්ඩයක් ඔහුගේ බෙල්ලට වැදී වෙනත් ස්ථානයකට ගමන් කළේද යන්න පැහැදිලි නැත.
ජපාන NHK රූපවාහිනිය පොලිස් මූලාශ්‍ර උපුටා දක්වමින් පැවසූයේ, හිටපු අගමැතිවරයා රෝහල වෙත ප්‍රවාහනය කරන විට “සැහැල්ලූවෙන් හා ප්‍රතිචාර දක්වමින්” සිටි බවයි.
එහෙත් 67 හැවිරිදි ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව අබේ මහතාගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සඳහන් කළේය. අබේ මහතාගේ බාල සොහොයුරා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ හිටපු අගමැතිවරයාට රුධිර පාරවිලයනයක් සිදු කරන බවයි.
ටෝකියෝ හිටපු ආණ්ඩුකාර යොයිචි මසුසෝ මීට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ අබේ මහතා හෘද පෙනහළු හිරවීමේ තත්වයක සිටින බවයි. ජපානයේ මරණයක් නිල වශයෙන් තහවුරු කිරීමට පෙර මෙම යෙදුම බොහෝ විට භාවිතා වේ.
ප්‍රහාරය එල්ල වන විට අබේ මහතා නාරා ප්‍රදේශයේ දේශපාලන අපේක්ෂකයකු වෙනුවෙන් කතාවක් පවත්වමින් සිටියේය.
ඇසින් දුටු සාක්ෂිකරුවන් පැවසුවේ විශාල තුවක්කුවක් රැගත් මිනිසෙක් අබේ මහතාට පිටුපසින් දෙවරක් වෙඩි තබනු තමන් දුටු බවයි.
පලා යාමට කිසිදු උත්සාහයක් නොගත් ප්‍රහාරකයා සහ ඔහුගේ ආයුධය (අතින් සාදන ලද තුවක්කුවක්) ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නාරා ප්‍රදේශයේ පදිංචි ටෙට්සුයා යමගාමි ලෙස හඳුනාගෙන ඇත. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ ඔහු ජපානයේ නාවික හමුදාවකට සමාන වන ජපානයේ සමුද්‍ර ස්වයං ආරක්ෂක බලකායේ හිටපු සාමාජිකයෙකු බවයි.
ජපානයේ ඉහළ මන්ත්‍රණ සභා මැතිවරණය මෙම සතිය අගදී පැවැත්වීමට නියමිත බැවින් ඔහුගේ හිටපු පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සඳහා වූ ව්‍යාපාරය වෙනුවෙන් සහයෝගය දක්වමින් කථා පැවැත්වීය.
ජපන් සමාජ මාධ්‍යවල, “අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය මිස ප්‍රචණ්ඩත්වය නොවේ” යන හැෂ් ටැගය යොදාගනිමින් බොහෝදෙනා ඔවුන්ගේ භීතිය සහ පිළිකුල ප්‍රකාශ කරමින් සිටිති.



