(බීබීසී පුවත් සේවය ශ්‍රී ලංකාවේ තෙල් අර්බුදය සම්බන්ධයෙන් පළකර තිබූ වාර්තාවක් ඇසුරිනි)
1970 වර්ෂයෙන් පසු සාමාන්‍ය ජනතාවට ඉන්ධන විකිණීම නවතා දැමූ ලොව ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසූ පරිදි හෙට (05) වනවිට ශ්‍රී ලංකාවේ ඇති සියලු ඉන්ධන තොග අවසන්වනු ඇත. ඔහු ඉරිදා දිනයේ කියා සිටියේ ශ්‍රී ලංකාව සතුව ඇත්තේ සාමාන්‍ය පරිභෝජනය අනවු දින දෙකකට පමණක් ප්‍රමාණවත් ඉන්ධන තොග පමණක් බවයි. එය ඩීසල් මෙට්‍රික් ටොන් 12,774ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,051ක් පමණි.
එළැඹෙන 10 වැනි දා වනවිට තෙල් තොග ශ්‍රී ලංකාවට ළඟාවන බව රජය වරින් වර කියා සිටිය ද කංචන විජේසේකර අමාත්‍යවරයා පවසන්නේ මීළඟ පෙට්‍රල් නැව්ගත කිරීම ජූලි මාසයේ 22 හෝ 23 පමණ සිදුවනු ඇති බවයි. එසේ නම් 10 වැනි දා ඉන්ධන ලැබෙන කතාව මුසාවකි.
ඉන්ධන මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 587ක් ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබේ. නමුත් මහ බැංකුව පවසා ඇත්තේ ඉන්ධන සඳහා ලබාදීමට හැකියාව ඇත්තේ ඩොලර් මිලියන 125ක් පමණක් බවයි. ඒ අනුව ඉන්ධන මිල දී ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට මේ වනවිට නොමැති බව පැහැදිළි කරුණකි.
ශ්‍රී ලංකාව මෙම වසර ආරම්භයේ දී මිල දී ගත් ඉන්ධන සඳහා සැපයුම්කරුවන්ට ඩොලර් මිලියන 800ක ණයක් ගෙවීමට ඉතිරිව ඇත. මේ වනවිට එම ණය ගෙවීම නොකිරීම හේතුවෙන් ඒ සමාගම් ශ්‍රී ලංකාවට තවදුරටත් ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. එම සමාගම් 07න් එක් සමාගමකට පමණක් ඩොලර් මිලියන 300ක් ගෙවීමට නියමිතව තිබේ.
1970 ලෝකයේ ඇති වූ තෙල් අර්බුදයෙන් පසු යුරෝපයේ ඉන්ධන සළාකයක් ලබාදීමේ සිදුවීමෙන් පසු සාමාන්‍ය ජනතාවට පෙට්‍රල් විකිණීම නැවැත්වීමේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
මෙය ශ්‍රී ලංකාවේ ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළු සියලු ද්‍රව්‍ය සහ සේවාවන්හි මිල ඉහළ දැමීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් ම නතර කර හෝ නතර වී නැත. නමුත් එය ඉතාමත් ඉක්මණින් නතරවනු ඇතැයි දැඩි අවිනිශ්චිතතාවකින් සියලු ජනතාව ජීවත් වෙති.
අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩඒමට නම් සැළකිය යුතු විදේශ මුදල් ප්‍රමාණයක් උපයාගත යුතුව තිබේ. නමුත් ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් ගෙන ආ සංචාරක කර්මාන්තය දැන් මුළුමනින් ම බිඳ වැටී ඇත. එමෙන් ම විදුලි කප්පාදුව සහ ඉන්ධන අර්බුදය හමුවේ අපනය මත පදනම් වූ කර්මාන්ත දිගින් දිගටම බිඳ වැටෙමින් තිබේ.
පොදු ප්‍රවාහන සේවාව ද මේ වනවිට බිඳ වැටීමට ඉතා ආසන්නයේ පවතී. කුලී රථ සහ සෑම මාර්ගක ම දක්නට ලැබෙන ත්‍රීරෝද රථ සේවාව දැඩි අර්බුදයකට මුහුණ දී ඇත. ඒ සේවාවන් ලබාගැනීමේ දී ගෙවීමට සිදුව ඇති මුදල කිහිප ගුණයකින් ඉහළ යාම හේතුවෙන් අර්බුදය උඝ්ර වී ඇති අතර ත්‍රී රෝද රථ කිලෝ මීටර ගණන් දිගැති ඉන්ධන පෝළිම්වල දවස් ගණන් නවතා ඇත.
මේ අතර, විදුලිය විසන්ධි වීම, අන්තර්ජාල සේවාවන් බිඳවැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවට හොඳින් විදේශ විනිමය උපයාගත හැකි සහ සංවර්ධනය වෙමින් පවතින තොරතුරු තාක්ෂණ කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ඇමෙරිකානු ඩොලර් බිලියන 03ක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද තවමත් ඒ සම්බන්ධ අවසන් එකඟතාවකට පැමිණ නැත.
ආර්ථික සහ සමාජ විශේෂඥයන් පවසන්නේ “ශ්‍රී ලාංකික ජනතාව, විශේෂයෙන් ම අර්බුදයෙන් අසමාන ලෙස පීඩාවට පත්වූ දුප්පත් ජනතාව සහ අවදානමට ලක්වූවන් දැනටමත් දැඩි දුෂ්කරතා පෙන්වයි” යනුවෙනි.
BBC ප්‍රකාශයට පත් කළ මුල් ලිපිය මෙතැනින්