-1.6 C
New York

ගාල්ල පොලිසියේ වැඩ ඇණහිටී ? ආරක්ෂාවත් ගැටලුවක්

Published:

ගාල්ල මූලස්ථාන පොලිසියේ ජීප් රථ, ට්‍රැෆික් බයික් ඇතුළු වාහන 50ක පමණ ප්‍රමාණයක් සඳහා ඉන්ධන නොලැබීමෙන් තවදුරටත් පොලිසියේ සාමාන්‍ය එදිනෙදා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යා නොහැකි තත්වයක් උදා වී තිබේ.

මේ වනවිට ගාල්ල මූලස්ථාන පොලිසිය විසින් භාවිතා කරන රජයේ වාහන කිසිවකට ප්‍රමාණවත් ඉන්ධන නොමැත. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය හේතුවෙන් විශේෂ ආරක්ෂාවක් ද යෙදීමට සිදුව ඇත. එම කටයුතුවලට ද මේ වනවිට බාධා එල්ල වී තිබේ.

පොලිසියේ උසස් නිලධාරියකු කියා සිටියේ අත්‍යාවශ්‍ය සේවා ලේඛන යටතේ පොලිස් නිලධාරීන්ට ඉන්ධන ලබාගැනීමට ගිය ද ඉන්ධන පිරවුම්හල් අසළ දී ජනතා විරෝධයක් එල්ලවන බවයි. පොලිස් ස්ථානාධිපතිවරයකු සඳහා ද රජයේ වාහන සැපයීමක් නොමැති අතර රජයේ නිල රථයක් ලබා දී ඇත්තේ සහකාර පොලිස් අධිකාරී ධූරයෙන් ඉහළ නිලධාරීන් සඳහා පමණි.

මේ හේතුවෙන් කොස්තාපල්වරයාගේ සිට පොලිස් ස්ථානාධිපතිවරයා දක්වා ම සේවයට වාර්තා කිරීමටත්, ආපසු නිවස බලා යාමටත් භාවිතා කරන්නේ ඔවුන්ගේ පුද්ගලික වාහන හෝ පොදු ප්‍රවාහන සේවාවන්ය.

නමුත් දැනට ඉන්ධන ලබාදෙන IOC පිරවුම්හල්වලින් ප්‍රමුඛතාව නොසළකා හැරීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව ද පොලිසිය පවසයි.

කොස්තාපල්වරයාගේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා සියලු දෙනා ම තම පුද්ගලික රථවලින් රැකියාටව යාම සහ ඒම සිදුකරන බැවින් ඉන්ධනගැනීමට ගියවිට පුද්ගලික වාහනවලින් පැමිණ ඉන්ධන ගන්නවා යැයි සාමාන්‍ය ජනතාව චෝදනා කරන බැවින් පොලිස් නිලධාරීන්ට ඉන්ධන ගැනීම බරපතල ගැටලුවක් වී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියකු කීවේය.

පොලිස් නිලධාරීන් ඇතැම් විට පැය 12-24 අතර කාලයක් එක දිගට සේවය කර තමන්ට ලැබෙන පැය කිහිපයක විවේක කාලයේ දී පෝළිමවල දින ගණන් රැඳී සිටීමට නොහැකි බැවින් ප්‍රමුඛතා ලැයිස්තුවකින් ඉන්ධන ලබාගැනීමට උත්සාහ ගත්ත ද ඊට ද ඇතැම් අය විරුද්ධ වන බව පොලිස් නිලධාරීහු ම කියති.

Related articles

Recent articles

spot_img