spot_img
spot_imgspot_img

තෙල් නැති රටක, මරණයට පත්නොවී ජීවිතය අල්ලාගෙන ඉන්න. කළ හැකි වෙන කිසිවක් නෑ

පුවත්

විදෙස්

රටේ ඇති තෙල් ප්‍රමාණය දින දෙකකටවත් ප්‍රමාණවත් නැත.

මේ වනවිට කොළොන්නාව, මුතුරාජවෙල ඉතිරිව ඇති තෙල් තොග පිළිබඳ සොයා බැලූ විට වාර්තාවන්නේ එහි ඇත්තේ ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1,000ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක් ඇති බවයි. ඒ අනුව සමස්ත පෙට්‍රල්වල එකතුව මෙට්‍රික් ටොන් 5,000කි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගණනය කිරීම් අනුව මෙට දිනකට ඉන්ධන අවශ්‍යතාව ඩීසල් මෙට්‍රික් ටොන් 6,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,500කි.

ඉතිරිව ඇති තෙල් තොග සහ රටේ ඉන්ධන අවශ්‍යතාව සැළකූ විට දින 02කට ප්‍රමාණවත් තරම්වත් තෙල් තොග ශ්‍රී ලංකාව සතුව නැත.

මෙය ඉතාමත් දැවැන්ත අර්බුදයකි.

ශ්‍රී ලංකාවේ විදුලි ජනනයෙන් 25%ක් ම සපයන්නේ ඩීසල් සහ දැවිතෙල්වලිනි. මේ අනුව ඉදිරි දින දෙකෙන් පසු විදුලි ජනනයෙන් 25% ජාතික විදුලි පද්ධතියට අහිමිවනු ඇත.

දැනටමත් නැගෙනහිර පළාතේ ‍වී අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ වී ඇතත් ගොවීන්ට එම කටයුතු සඳහා ප්‍රමාණවත්  තරම් ඉන්ධන නැත. වියළිි කලාපයේ ගොවිතැන් ආරම්භ කිරීමට වතුර මෝටර සඳහා භූමිතෙල් හෝ ඩීසල් නැත. එමෙන් ම ආහාර බෝග බෙදාහැරීමට අවශ්‍ය ප්‍රවාහන රථ සඳහා ද ඉන්ධන නැත.

විදුලිබල මණ්ඩලය, බස්, දුම්රිය, හමුදාව, සෞඛ්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට තෙල් තොග නිකුත් කිරීම මේ දක්වාම සිදුකළ ද තවත් දින දෙකක් යනවිට එය ද නවතා දැමීමට සිදුවේ.

අද (25) සවස විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසූ පරිදි 24 වැනි දා එන බව කියූ තෙල් නැව එන දිනයක් කීමට කිසිවෙකුටත් නොහැකි වී තිබේ. ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් ජනතාවෙගෙන් සිය ට්විටර් පණිවිඩය මගින් සමාව ඉල්ලා තිබේ.

ඇමතිවරයා පවසන්නේ මීට පෙර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මේ නැව 24 වැනි දා එන බව කීව ද එය එසේ නොවන බවයි. අද කරන ලද සොයාබැලීම් අනුව නැව පැමිණෙන දිනය කිව නොහැකි බව ද අමාත්‍යවරයා පවසයි. එසේ නම් ඇමතිවරයාව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසින් රවටා ඇතැයි අපට පූර්ව නිගමනයකට එළැඹෙන්නට සිදුවෙයි.

පසුගිය සතියේ යම් තරමකින් රටේ තෙල් බෙදාහැරීම් සිදුවෙමින් තිබිය දී අධ්‍යාපන අමාත්‍යාංශය නාගරික පාසල් වසා දැමීමට කටයුතු කළේය. අද එම අමාත්‍යාංශය නිවේදනය ක‍ෙළේ එළැඹෙන සතියේ දී එම වසා දැමූ පාසල් දින තුනක් පවත්වන බවයි. ඒ නිවේදනය නිකුත් කර පැය කිහිපයක් ගතවන විට තෙල් බෙදාහැරීම නවතා ඇත.

පාසල් පවත්වාගෙන යාමට ලබන සතියේ තෙල් නැවත ගැටලුවක්  වනු ඇත.

එබැවින් අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, කෘෂිිකර්ම අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය හෙට ඉරිදා (26) හෝ අනිද්දා සඳුදා (27)  වනවිට සිය ‍නිලධාරීන්ට නව චක්‍රලේඛ ඇතුළු උපදෙස් නිකුත් කරනු ඇත.

නමුත්  අපට පෙනෙන්නට තිබෙන්නේ තෙල් නැතැයි කියා පාර්ලිමේන්තුව රැස්වීම නවතා දැමූ ආණ්ඩුවට රට එකතැන නැවතීම වැළැක්වීමට මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවයි. ඉන්දියාවෙන් ණයට තෙල් ලැබීම ද තවදුරටත් සිදුවන බවක් පෙනෙන්නට නැත.  

විපක්ෂය හෝ වෙනත් විකල්ප වැඩපිළිවෙලකට ආණ්ඩු බලය රැගෙන මෙවැනි අවස්ථාවකට මුහුණ දීමේ කිසිදු වැඩපිළිවෙලක් නැත. විපක්ෂය සිදුකරන්නේ ආණ්ඩුවට චෝදනා කරමින් වින්දනයක් ලැබීම පමණි. කිසිම විකල්ප වැඩපිළිවෙලක් මෙතෙක්  ඉදිරිපත් කර නැත.

සමාජ බලවේග ද කැඩී බෙදී වෙන් වී ඇත. නිර්පාක්ෂිකයැයි කියූ බොහෝ පුද්ගලයන්ගේ පාක්ෂිිකත්වය දැන් හෙළිදරව් වී සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය පළදු වී ඇත්තේ ජනතාව තදුරටත් ඉච්ඡාභංගත්වයට පත්කරමිනි.

මේ වනවිට ගෑස් නොමැති අතර ජුනිි මස 12 පසුවනතුරු ගෑස් ලැබෙන බවක් හෝ නැත. එය ද ඇතැම්විට තවත් දින හෝ සති කිහිපයක් ප්‍රමාදවනු ඇත.

මේ සියල්ලේ ප්‍රතිඵලය වන්නේ බත් පතක් උයාගන්නට නොහැකිව ජනතාවට හාමතේ  සිටින්නට සිදුවීමයි. දරුවන්ට කුස‍ගින්නේ සිටින්නට වනු ඇත. අවම වශයෙන් ලක්ෂ 30කට පමණ සිය රැකියා අහිමිවනු ඇත. පාලකයෝ තවත් බොරු බේගල් කියමින් ජනතාව නොමග යවනු ඇත. හැමදාමත් දේශපාලන නායකත්වයට කත් අදිමින් ඔවුන්ගේම වංචා දූෂණයේ ‍කොටස්කරුවන් වූ ඉහළ නිලධාරී පැලැන්තිය ද තවදුරටත් එසේම පාලකයනුත් ජනනතාවත් රවටනු ඇත. ජනතාව කිසිදා නිලධාරී පැලැන්තිය තමන් රැවටූ බවත් මේ සියල්ලේ වගකීමෙන් වැඩි කොටසක් ඔවුන් විසින්ද දැරිය යුතු බවත් විශ්වාස නොකරනු ඇත.

කළ හැකි  එක ම දේ සියල්ල අතහැර මරණයට පත්නොවී ජිවිතය අල්ලාගෙන සිටීම පමණි.

හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් තැබූ සටහනක් ඇසුරින් සකසන ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!