මියන්මාරයේ බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සූචී නිවාස අඩස්සියේ සිට අගනුවර බන්ධනාගාරයක හුදකලා සිර කුටියකට මාරුකර තිබේ. 77 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභී සූචී 2021 පෙබරවාරි මාසයේදී හමුදාව විසින් අත්අඬංගුවට ගනු ලැබීය.
පසුගිය වසර පුරා ඇය අගනුවර හෙළි නොකළ ස්ථානයක රඳවා තිබිණ.
සුචීට දැනටමත් වසර 11ක සිර දඬුවම් නියම කර ඇති නමුත් ඇයට එල්ල වූ චෝදනා රැසක් ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
සිරකඳවුරකට යැවීම හේතුවෙන් ඇය වෙන කවරදාටත් වඩා හුදෙකලා තත්ත්වයකට පත්වී තිබේ. පෙර හමුදා පාලන සමය තුළ ඇය වසර 15 ක් රැඳවුම් භාරයේ ගත කළ නමුත් ඒ සියලුම කාලයේ ඇය නිවාස අඩස්සියේ තබා තිබිණ.
රට තුළ ඉතා ජනප්‍රියව සිටින සූචී බන්ධනාගාරය තුළ පිහිටුවා ඇති විශේෂ උසාවියේ නඩු විභාගවලට සහභාගි වනු ඇතැයි විශ්වාස කෙරේ.
බන්ධනාගාරය තුළ විශේෂයෙන් ඉදිකරන ලද කුටියක් ඇගේ නවාතැන් සඳහා වෙන් කර ඇති අතර ඇගේ සඟයා වන නෙරපා හරින ලද ජනාධිපති වින් මින්ට්, බන්ධනාගාරයේ එවැනිම හුදකලා සිරකූඩුවක සිටියි.
මූලාශ්‍රවලට අනුව, සුචී මහත්මිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, ඇයට සහය වීමට කාන්තා බන්ධනාගාර නිලධාරීන් තිදෙනකුද යොදවා ඇත. AFP ප්‍රවෘත්ති ඒජන්සිය මූලාශ්‍රයක් උපුටා දක්වමින් කියා සිටියේ සුචී මහත්මියගේ ගෘහ කාර්ය මණ්ඩලය සහ ඇගේ බල්ලා ඇය සමඟ සිරගෙදරට නොපැමිණි බවයි.
හමුදා ආණ්ඩුවෙන් සිදුකළ කෙටි ප්‍රකාශයක සඳහන් කර ඇත්තේ ඇය සිරගෙදරට ගිය බවත් එය මියන්මාරයේ නොහොත් බුරුමයේ අපරාධ නීතිවලට අනුකූල බවත් ය.
මානව හිමිකම් සංවිධාන, රහසිගත නඩු විභාග බොරුවක් ලෙස හෙළා දැක ඇත. නඩු විභාගය මහජනතාවට සහ මාධ්‍යවලට තහනම් කර ඇති අතර, සුචීගේ නීතිඥයන්ට පවා මාධ්‍යවේදීන් සමඟ කතා කිරීම තහනම් කර ඇත.
ඇය මේ වන විට නඩු විභාග කිහිපයකදී වරදකරු කර ඇති චෝදනා අතර දේශපාලන උසිගැන්වීම, දූෂණය, කොවිඩ් නීති කඩ කිරීම සහ විදුලි සංදේශ නීතිය කඩ කිරීම ඇතුළත් වේ.
තවත් නඩු විභාග ඉදිරියේ ඇති අතර, ඇයගේ ජීවිත කාලය පුරාම ඇයව අත්අඩංගුවේ තබා ගැනීමට සැලසුම් කර ඇති බවට හමුදාවට චෝදනා එල්ල වේ. සමහර අනුමානකිරීම්වලට අනුව, සියලු චෝදනාවලට වරදකරු වුවහොත්, ඇය වසර 190 කට වැඩි සිර දඬුවමකට මුහුණ දෙනු ඇත.
“අපි දකින්නේ මියන්මාර ජුන්ටාව අවුන්සාන් සුචීට දැඩි අඬුවම් නියම කරනු ඇති බවයි, ඔවුන් පැහැදිලිවම ඇය සහ ඇගේ ආධාරකරුවන් බිය ගැන්වීමට උත්සාහ කරයි.” හියුමන් රයිට්ස් වොච් හි නියෝජ්‍ය ආසියානු අධ්‍යක්ෂ ෆිල් රොබට්සන් ඒඑෆ්පී වෙත පැවසීය.
හමුදා කුමන්ත්‍රණයෙන් බලය ඇල්ලීම සිදුවූයේ සුචීගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) මහ මැතිවරණයෙන් විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කිරීමෙන් මාස කිහිපයකට පසුවය.
ඡන්ද වංචා කළ බවට හමුදාව චෝදනා කළ නමුත් ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයින් පැවසුවේ ඡන්දය බොහෝ දුරට නිදහස් හා සාධාරණ බවයි.
කුමන්ත‍්‍රණයෙන් පසු හමුදා රජයට එරෙවි උද්ඝෝෂණ සහ පෙළපාලි රටපුරා පැවැත්වුණු අතර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගැති විරෝධතාකරුවන්, කි‍්‍රයාකාරීන් සහ මාධ්‍යවේදීන්ට එරෙහිිව හමුදාව විසින් මර්ධනයක් දියත් කරන ලදී.
අත්අඩංගුවට ගෙන ඇති 14,000කට වැඩි පිරිසක් අතර සුචී සහ ඇයගේ පක්ෂයේ බොහෝ සාමාජිකයින් ද වේ.
දේශපාලන සිරකරුවන් සඳහා වූ ආධාර සංගමය (බුරුමය) පවසන පරිදි විරෝධතා මර්නධය කිරීමේ දී පුද්ගලයන් 2,000 ක් පමණ මරා දමා ඇත.
හමුදාවට එරෙහි විරෝධය පුළුල්ව පැතිර ඇති අතර රටේ සමහර ප්‍රදේශයන්හි සන්නද්ධ ගැටුම් තවදුරටත් පවතී.



