මාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදර ප්‍රකාශයක් ලබාගැනීමට යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
එහි සභාපති විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මෙම පැමිණිල්ල යොමු කර ඇත.
ශ්‍රී ලංකා තරුණ ජනාමධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු, හිටපු සභාපතිවරයකු සහ මානව හිමිකම් ක්‍රියාරිකයකු වන මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හට ලබන 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස පොලිස් පණිවිඩයක් ලැබී තිබේ.
මේ පිළිබඳ විමසීමේ දී එහි නිලධාරියකු කියා ඇත්තේ තරිඳු උඩුවරගෙදර විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව මෙම ප්‍රකාශය ගන්නා බව ද දැනුම් දී ඇත. මෙම නාලිකාවේ ප්‍රකාශයට පත්කර ඇති සියලුම වීඩියෝ සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ද එහි දී සඳහන් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ගුවන් හමුදා බුද්ධි අංශයේන කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුවන බවයි. ඇතැම් වීඩියෝවල අන්තර්ගතයට අදාල නැති ශීර්ෂ ඇති බවත් එම නිලධාරියා ප්‍රකාශ කර ඇත.
තරිඳු උඩුවරගෙදර යනු රාවය, අනිද්දා වැනි පුවත්පත්වල දීර්ඝ කාලයක් සිට සේවය කළ මාධ්‍යවේදියෙකි. ඔහු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකයකු මෙන් ම වසර 02ක කාලයක් සභාපති ලෙස ද කටයුතු කළේය. යූ ටියුබ් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඔහු “සටහන්” නමින් නාලිකාවක් පවත්වාගෙන යයි. එම නාලිකාව මගින් කාලීන සමාජ සහ දේශපාලනික විවරණයන් සිදුකරන අතර එය හුදෙක් ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් මතවාදී ප්‍රකාශද ඇතුළත් කරන නාලිකාවකි.
මෙම ඉදිරිත් කිරීම ඔහු විසින් සිදුකරන්නේ වෘත්තීය මාධ්‍යවේදියකු ලෙසිනි. එමෙන් ම ඔහු එහි දී භාවිතා කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට හිමිව ඇති මානව අයිතිවාසිකම් අතර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භාවිතා කරමිනි.
මාධ්‍ය නිදහසට බලපෑම් කරමින් මෙරට වෘත්තීය මාධ්‍යවේදියකු තම නාලිකාවේ අන්තර්ගතය සහ එහි ශීර්ෂයන් එකිනෙකට ගැලපෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ සොයා බැලීමට ගුවන් හමුදා බුද්ධි අංශයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට අයිතියක්, හැකියාවක් සහ නීතිමය හිමිකමක් තිබේ ද යන්න ගැටලුවකි.
මෙය මාධ්‍යවේදීන් බියට පත්කර මාධ්‍ය මර්ධනය සඳහා රජය හමුදාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලය යොදා ගැනීමක් ලෙස මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි. මාධ්‍ය මර්ධනය කිරීමට වත්මන් රජය ගෙන යන ක්‍රියාදාමයේ එක් පියවරක් ලෙස තරිඳු උඩුවරගෙද අත්අඩංගුවට ගැනීම හෝ අපහසුතාවට පත්කිරීමට හෝ පීඩාවට පත්කිරීමට ගුවන් හමුදාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන‍්නේ යැයි බරතල සැකයක් ඇති බව ද තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ජනමාධ්‍යවේදියකු සහ මානවහිමිකම් ආරක්ෂකයකු වන තරිඳු උඩුවරගෙදරගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා කඩිනමින් මැදිහත්වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනමාද්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරිකයෝ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියි.