5.3 C
New York

දෂ්ඨ කළේ පිඹුරකු යැයි සිතා නිවසට වී සිටි සිව්දරු පියා මියගිහින්

Published:

පිඹුරකු යැයි සිතා පොළඟෙක් ඇල්ලීමට යාමේ දී දෂ්ඨනයක් සිදුවුව ද ඒ ගැන‍ නොතකා හැරීම හේතුවෙන් ගාල්ල වලහන්දූවේ, මානවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඊයේ (18) මියගොස්  ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ සතරසිංහ කොඩිතුවක්කුගේ ගාමිණී ප්‍රසන්න නමැති 45 හැවිරිදි සිව්දරු පියෙකි. මේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (19) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් පවත්න ලදී.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිිකරණ වෛද්‍ය රුවන් නානායක්කාරගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැළකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා මෙම මරණය පො‍ළඟාගේ විෂ ශරීරගත වීමෙන් ශරීර අභ්‍යන්තරයේ සිදු වූ අධික රුධිර වහන හේතුවෙන් වූ මරණයක් බව නිගමනය කළේය.

“තාත්තා ඒ සර්පයාගේ ඇඟ මැදින් පාගගෙන ඔළුවෙන් අල්ලගන්න හදනකොටම සර්පයා තාත්තාගේ අතට දෂ් කළා. ඒ පිඹුරෙක් කියලා හිතුවේ. ඒත් අන්තිමේ දී තාත්තා මියගියාම තමයි දන්නේ දෂ්ඨ කරලා තියෙන්නේ පොළඟෙක් කියලා” යැයි මියගිය තැන්ත්තාගේ දියණියක තුරෂි ලක්ෂාණි (23) කීවාය. ඇය වැඩිදුරටත් මෙසේ කියා සිටියාය.

“අපේ වත්ත පල්ලෙහා සති කිහිපයක ඉදලා ලොකු සර්පයෙක් ඉන්නවා. කාණුවක් අස්සේ ඉන්නේ. ඒ පිඹුරෙක් කියලා තමයි හිතුවේ. අපි ගිහින් ෆොටෝස් පවා අරගත්තා. කිසිම කරදරයක් කළේ නෑ. එතැනට වෙලා ඉන්නවා. සමහර දවස්වලට එළියට ඇවිත් අව්වතපිනවා අපි දැකල තියෙනවා. තාත්තා උදේ පාන්දර වැඩට ගියා. දවල් 1.00ට විතර ඇවිත් මල්ලිට කතා කළා. මම එතනට යනවිට තාත්තා ඒ සර්පයාගේ මැදින් කකුල තියලා පාගගෙන හිටියා. අතේ මාළුවගයක් තිබිලා ඒක මට දීලා පහත්වෙලා සර්පයාගේ ඔළුවෙන් අල්ලන්න හැදුවා. තාත්තා මත්පැන් පානය කරලා හිටියේ. ඒ වෙලාවේ සර්පයා හැරිලා තාත්තාගේ දකුණු අතේ පිටි අල්ල දෂ්ඨ කලා. අත රිදෙනවා කියලා කිව්වා. මම සබන් දාලා අත හේදුවා. ඉස්පිරිතාලෙට යන්න වාහනයක්  හෙව්වත් තිබුණේ නෑ. සුවසැරිය ගිලන් රථයකට කතා කළා. ඒ අය ආවේ 4.00ට විතර ඇවිත් කිව්වා තාත්තා මිය ගිහින් කියලා.”

මේ අවස්ථාවේ දී සාක්ෂි දුන් මියගිය පුද්ගලගේ බිරිඳ නිල්මිණි තුෂාරි ජයලත් (45)  මෙසේ කීවාය.

“මියගොස් සිටින්නේ මගේ සැමියා. අපිට දරුවන් 04 දෙනෙක් ඉන්නවා. එයා කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. මත්පැන් බීමටත් ඇබ්බැහි වෙලා ඉන්නේ. තාත්තාගේ අත ගෙදර පහළ හිටපු සර්පයා දෂ්ඨ කළා කියලා දෙවැනි දුව මට කෝල් කිව්වා. මම ගෙදර ගියා. අපි හිතුවේ ඒ පිඹුරෙක් කියලා. රෝහලට ගෙනියන්න ඉස්සෙල්ලා මියගිහින්. මේ මරණය ගැන සැකක් නෑ.”

Related articles

Recent articles

spot_img