ගාල්ලේ කොරෝනා පොකුරු හැදෙයි ද ?

3
1248

කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 09 දෙනකු අද ගාල්ලෙන් වාර්තා විය.

බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තොටගොඩ එක් අයෙක්, කරන්දෙණිය කොට්ඨාසයෙන් සිව් දෙනෙක්, රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් දෙදෙනෙක්, බොපේ පෝද්දල, නියාගම හා බද්දේගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුනෙන් එක් අයෙක් බැගින් මෙම පිරිස වාර්තා වී තිබේ.

මෙම කණ්ඩායම අතරින් බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි තරුණයාට කොරෝනා ආසාදනය වූයේ කවර ආකාරයකින්ද යන්න පිළිබඳ පැහැදිලි මූලාශ්‍ර නොමැති බව සෞඛ්‍ය අංශ විසින් දැනුම් දෙන ලදී. මෙය ඉතා බරපතල තත්ත්වයක් බව වෛද්‍යවරුම කියති.

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිධාරී කොට්ඨාසයෙන් වාර්තා වූ සිව් දෙනාම ධිවර හා ඒ ආශ්‍රිත රැකියාවන්හි නිරතවූවෝය. මෙම සිව් දෙනා අතරින් සෘජුව ම පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය හා සම්බන්ධතා ඇත්තේ දෙදෙනකුට පමණි. අනෙක් දෙදෙනාට එවැනි සම්බන්ධතාවක් නොමැති. පෑලියගොඩ හා සෘජු සම්බන්ධයක් නැති මත්ස්‍ය ව්‍යාපාරයේ යෙදෙන දෙදෙනකු එසේ අසාධනය වී ඇතැයි යන්නෙන් පැහැදිලි වන්නේ පෑලියගොඩ පොකුරේ පළමු පෙළ ආශ්‍රිතයන් ඉක්මවමින් දෙවැනි පෙළ ආශ්‍රිතයන් ද ආසාදනය වන බව යැයි වෛද්‍යවරු කියති.

මෙහි තවත් බරපතල තත්ත්වයක් තිබේ. මේ ආසාදිතයෝ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය, ගාල්ල ධීවර වරාය, දොඩංදූව ධීවර වරාය, මිරිස්ස ධීවර වරාය ආදී ස්ථාන රැසක සිය රථවලින් සංචාරය කර මාළු මිලදී ගැනීම් හා විකිණීම් සිදුකර තිබීමයි. මේ දක්වාම දොඩංදූව, මිරිස්ස හා බලපිටිය ධීවර වරායන්හි පීසීආර් පරීක්ෂණ සිදුකර නැත. බලපිටිය ධීවර වරායේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීම ලබන ඉරිදා දිනයට යොදාගෙන ඇත. ගාල්ල වරායේ මෙන් පෑලියගොඩ හා සෘජුව සම්බන්ධ වූ අයගේ හා ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ගේ ඉක්මණින් පීසීආර් කළේනම් ආසාදිත පිරිස් කඩිනමින් හඳුනාගැනීමට හැකිවනු ඇත. පීසීආර් පරීක්ෂණ ප්‍රමාදවීමෙන් සිදුවන්නේ ආසාදිතයකු ඇත්නම් ඔවුන් ඒ බව නොදැන වයිරසය සමාජගත කිරීමයි.

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වූ ගෝනාපීනුවන පදිංචි ආසාදිත තරුණයා විෂබීජ නාශක දියර අළෙවි කරමින් අලුත්ගම සිට හම්බන්තොට හා ලුණුගම්වෙහෙර දක්වා ගිය බව අනාවරණය වී තිබේ. මේ අනුව ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීම පහසු කාර්යයක් නොවේ.

රත්ගම පදිංචි කොග්ගල බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවිකාව රෝග ලක්ෂණ පෙන්වූයෙන් පුද්ගලික වාහනයකින් මහමෝදර රෝහලට ප්‍රතිකාර සඳහා එවා ඇතත් ඇය දිනපතා රැකියාව සඳහා ගොස් ඇත්තේ ඇඟළුම් සේවකයන් ප්‍රවානය කරන බසයක බව සෞඛ්‍ය අංශ පවසයි. මේ බසයේ එක් ගමන්වාරයක දී 50ක පමණ පිරිසක් ගමන් කරන බව ද දැනගන්නට ඇත. ඇය සේවය කරන ඇසුරුම් අංශයේ තවත් සේවක සේවිකාවෝ 40ක් රැකියාව කරති.

ඇය රත්ගම රණපනාදෙණියේ සිට පසුගිය 22 වැනි දින බද්දේගම පුහුල්දූවේ සිටින තම හිතවතියකගේ නිවසටක ගොස් තිබේ. එම නිවසේ පසුදින දානමය පිංකමක් පැවැති බැවින් ඇය ඒ නිවසේ රාත්‍රිය ගත කර ඇත. පසුදින පැවැති දානමය පිංකමට 200ක පමණ පිරිසක් පැමිණි බවත් මෙම තරුණිය එම පිංකම අවස්ථාවේ සක්‍රීය දායකත්වයක් සපයා ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. එදින ඇය එම නිවසේ ගත කළ කාලයේ දී ඇය සමග එකට රැය පහන් කළ සමීපතම මිතුරියන් දෙදෙනකු ගෝනාපීනුවල පිහිටි ඇඟළුම් කම්හලක සේවිකාවන් බව ද අනාවරණය වී ඇත. එම නිවසේ හිමිකාරිණිය බද්දේගම ඇඟළුම් කම්හලක පිරිසිදු කරන්නියකි. මේ තොරතුරු අනුව තවත් ඇඟළුම් කම්හල් දෙකක සේවක සේවිකාවන් පිළිබඳ සොයාබැලීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

නියාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තල්ගස්වල මාළු ලෑල්ලේ හිමිකරුවා ද ප්‍රදේශයේ ජනතාවගේ මත්ස්‍ය අවශ්‍යතාව යහමින් සපුරන ලද පුද්ගලයකි. දෛනිකව ඔහුගෙන් මාළු මිල දී ගන්නා විශාල පිරිසක් සිටියි. ඔහු නියාගම කොට්ඨාසයේ සිටිය ද ඔහුගේ ගනුදෙනු කරුවන් වැඩිම පිරිසක් නාගොඩ කොට්ඨාසයේ පදිංචිකරුවෝය. නාගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවා ඒ ආසන්නයේ පිහිටා ඇත. මෙම ආසාදිතයාගේ ආශ්‍රිතයන් සොයා යන විට නියාගමට හා නාගොඩ යන කොට්ඨාස දෙකටම සුවිශේෂී කාර්යයක් පැවරෙනු ඇත.

අද දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගීන් පිළිබඳ තොරතුරු සමාලෝචනය කරන විට පෙනී යන්නේ ගාල්ල යළි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි. මේ අනුව ගාල්ලේ සෑම ප්‍රදේශයකම ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් දැඩිව අනුගමනය කිරීමත්, අත්‍යාවශ්‍යම කටයුත්තකට හැර නිවසින් බැහැර නොයාමත් වැදගත් වේ. එමෙන්ම තමන් හමුවට පැමිණෙන සෑම පුද්ගලයකුම කොරෝනා රෝගියකු විය හැකියැයි සිතා තමන් ආරක්ෂා වීම සුදුසුම ක්‍රියා පිළිවෙතයි.

(සජීව විජේවීර)

3 COMMENTS

  1. සජීව මහත්තයෝ වරාය කියල ලියන කොට ධීවර වරාය කියල ලියන්න ඕන නේද හරිම තොරතුරු සමාජ ගත කිරීම ඔබ තුමාලගෙ වගකීමක්

  2. මුහුදු ගිහිල්ල ඉනිදියන් කාරයන්ට මාලු විකුනල කොරොන ගෙනාව වෙන්න බැරිද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here