-1.6 C
New York

ෂෙඩ්වලට තෙල් බෙදන්නේ පගාවට, හිතවත්කමට. ගාල්ලෙන්, මහනුවරින් උදාහරණ

Published:

ඉන්ධන බෙදා හැරීමේ කිසිම විධිමත් ක්‍රමවේදයක් නැති බවත් පගාවට සහ හිතවත් කම් අනුව ඉන්ධන බෙදාහැරීම සිදුවන බවත් ජනතාව චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් විවිධ ප්‍ර‍දේශවලින් උදාහරණ රැසක් පවතී.

ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් ඊට හොඳම උදාහරණයකි.

ගාල්ලේ ඉන්ධන පිරවුම්හල් සියල්ල ම පිහිටා ඇත්තේ ඉතාමත් කාර්ය බහුල සහ ජනාකීර්ණ ප්‍රදේශවලය. මීට අමතරව බද්දේගම නගරයේ ද ඉන්ධන පිරවුම්හල් වලින් සේවා ලබාගන්නා ජනතාව අති විශාල පිරිසකි. මේ ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන සහිත බවුසර ‍පැමිණෙන බවට සිපෙට්කෝ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය වන අතර ඒ අදාල දිනවල දී ජනතාව විශාල වශයෙන් ඒ ඒ ඉන්ධන බෙදාහැරීමේ ස්ථානවලට පැමිණෙති. නමුත් ඇතැම් දිනවල එම ස්ථානවලට ඉන්ධන බවුසර පැමිණෙන්නේ නැත.

ගාල්ලේ කරාපිටිය රෝහලට ඉතාමත් ආසන්නයෙන් පිහිටි අතිශය ජනාකීර්ණ බෙලිගහ හන්දියේ ඉන්ධන පිරවුම්හළට අද (18) දක්වා දින 07කින් ඉන්ධන ලැබී නැත. අද පෙට්‍රල් බවුසරයක් පැ‍මිණෙන බවට ඉන්ධන බෙදාහැරීමේ වෙබ් අඩවියේ දක්වා තිබිණි. ඒ හේතුවෙන් සිය ගණනක් ඊයේ රාත්‍රියේ සිට බෙලිගහ ඉන්ධන පිරවුම්හළේ පෝළිමේ රැඳී සිටිය ද අද සවස 4.00 වනතුරුත් එහි පැමිණෙන බවුසරයට ඉන්ධන පිරවීම ආරම්භ කර තිබුණේවත් නැත.

නමුත් ගාල්ලේ එක්තරා ඉන්ධන පිරවුම්හළකට දිනපතා පෙට්‍රල් සහ ඩීසල් බවුසර් ලැබෙයි. දැන් ඒ බව ප්‍රදේශය පුරාම ප්‍රචලිත වී තිබේ.

බණ්ඩාරගම නගරයේ පිහිටි එක් ඉන්ධන පිරවුම්හළක් වෙත අද (18) සවස ඉන්ධන ලැබී තිබුණේ දින 05කට පසුවය. මේ ඉන්ධන බෙදී යාමේ විෂමතාවයේ ඇති ගැටලුවයි. ඒ වනවිට දින කිහිපයක් පුරා එම ඉන්ධන පිරවුම්හළේ පෝළිමවල රථ වාහන නවතා තිබිණි.

මේ විෂමතාව පිළිබඳ සිපෙට්කෝ ආයතනයෙන් ප්‍රශ්න කළ විට ඔවුන් කිසිවක් කියන්නේ නැත. නමුත් පැහැදිළිව පෙනෙන දෙයනම් හිතවත් කම් සහ අල්ලස් ලබා දීම් මත ඉන්ධන බෙදා හැරීම අවිධිමත් ලෙස සිදුවන බවයි.

බද්දේගම වැනි ප්‍රදේශවලට සහ ගාල්ලේ අනෙකුත් ඉන්ධන පිරවුම්හළ්වලට තෙල් බවුසර නොපැමිණෙද්දී එක් ස්ථානයකට පමණක් තෙල් ලැබෙන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ විට ඛනිජ තෙල් නීති ගත සංස්ථාව නිරුත්තරය.

පසුගිය 16 වැනි දා ඉන්ධන ලබා දෙන බව වෙබ් අඩවියේ සඳහන් කළ ඉන්ධන පිරවුම්හල්වලට පරිභාහිරව ඉහළ නිලධාරියකුගේ උපදෙස් මත මහනුවර පිරවුම්හළකට ඩීසල් බවුසරයක් ම නිකුත් කර තිබිණි.

මේ වහාම සොයා බැලිය යුතු කරුණකි. නැතිනම් නුදුරු දිනක දී ම පෙට්‍රල් ෂේඩවල ගැටුම් ඇතිවීම වැළැක්වීමට නොහැකි වනු ඇත.

Related articles

Recent articles

spot_img