ගාල්ල ඕල්සෙන්ටස් විද්‍යාලයේ ගුරුවරියක අමානුෂික ලෙස ළමයින්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අප ඊයේ (17) සිදුකරන ලද අනාවරණය පිළිබඳ විදුහල්පතිවරයා අප වෙත කරුණු පැහැදිළි කළේය.
විදුහල්පති සී.ඩී.නාගහවත්ත එහි දී මෙසේ කීවේය.
“rata.lk වෙබ් එකේ ප්‍රවෘත්තිය මා දුටුවා. එය පළකරන්න ඉස්සෙල්ලා මා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගැනීම ගැන ස්තූතියි. ඒ වගේ ම මට සම්බන්ධ වෙන්න බැරි වුණේ තාක්ෂණික ගැටලුවක් නිසා. ඒ ගැන කණගාටු වෙනවා. මේ ගුරුවරියගේ හැසිරීම සම්බන්ධයෙන් එම පන්තියේ දෙමාපියන් මට දුරකථනයෙන් දැනුම් දීම් කළා. අපි කිහිප අවස්ථාවක දී ම එම ගුරුවරියට දැනුම් දීම් කළා මෙවැනි චෝදනා එල්ලවන නිසා ඒ සම්බන්ධයෙන් සැළකිල්ලක් දක්වන්න කියා. නමුත් දිගින් දිගටම ප්‍රශ්න මතුවන නිසා අපි ඇයගේ පන්තිය වෙනස් කරන්නත් හැදුවා. එහි දී ඇයගේ පැත්තෙත් යම් යම් ගැටලු තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ පාසල ඉතාමත් දුෂ්කර තත්වයක පවත්වාගෙන යන්නේ. ඉඩ කඩ කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. ප්‍රාථමික අංශයට ගුරුවරු 04 දෙනෙක් අඩුයි. මේ නිසා බරපතල ප්‍රශ්න තියෙනවා. අපි මේක දෙපාර්ශවයේ ම මානසික පැත්ත ගැන සිතා තීරණය කළ යුතු දෙයක්. ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ප්‍රාථමික අංශයේ විදුහල්පතිතුමිය, පන්තියේ දරුවන්ගේ දෙමාපියන් ඇතුළු සියලු දෙනා කැඳවා සාකච්ඡා කරනවා. මේ ගැන දෙමාපියන් මට ලිඛිතව දැනුම් දීලා නෑ. කලාප කාර්යාලයට සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් දැනුම් දී තිබෙනවා. මේ ගැටලුව ඉක්මණින් විසඳනවා”
rata.lk වෙබ් අඩවියේ ඊයේ (17) පළකරන ලද පුවත මෙතැනින්
අපට වාර්තාවන ආකාරයට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිපාලනය භාරව කටයුතු කරන කලාප කාර්යාලය, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු කාර්යාලවල නිලධාරීන්ගේ නොසැළකීම, අකාර්යක්ෂමතාව හේතුවෙන් මැණික් කුමාරී නමින් අප හඳුන්වන මේ ගුරුවරියගේ වැටුප් වර්ධක පවා ලබා දීම මෙතෙක් ප්‍රමාද වී තිබේ. එබැවින් ඇයට සිදුකරන සේවයට නියමිත වැටුප පවා ඇයට අහිමි වී ඇත.
අදාල ගුරුවරිය මේ තත්වයට පත්කිරීමට අධ්‍යාපන බලධාරීන් වගකිව යුතුයැයි එම ගුරුවරියගේ හිතවතුන් පවසයි.
විදුහල්පතිවරයා පවසන්නේ එම ගුරුවරිය ඉතාමත් දක්ෂ අයකු බවයි. ප්‍රාථමික ගුරුවරියක වුව ද සිංහල භාෂාව පිළිබඳ සුවිශේෂී ප්‍රවීණතාවක් දක්වන ඇය පාසලකට සම්පතක් බව ද විදුහල්පතිවරයා කීවේය.