ගාල්ල වරායේ තවත් PCR 452 ක ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්. තවත් 3000ක් ඉතිරියි

0
334

ගාල්ල ධීවරවරායේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 452ක වාර්තා ලැබීමට තිබෙන බවත් තවත් පීසීආර් පරීක්ෂණ 3,000ක් පමණ සිදුකිරීමට නියමිත බවත් ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය පවසයි.

පසුගිය බදාදා (28) සහ අද (29) දින දෙකෙහි ගාල්ල ධීවර වරාය ආශ්‍රිත ධීවර ප්‍රජාවගෙන් ගන්නා ලද ජෛව සාම්පලවල වාර්තා මෙලෙස ලැබීමට නියමිතය. සෞඛ්‍ය අංශ පවසන්නේ බාදාදා (28) ජෛව සාම්පල 255 ක් සහ අද (29) ජෛව සාම්පල 197ක් රසායනාගාර වෙත යැවූ බවයි.

එම සාම්පල ලබාගැනීමට පෙර ගාල්ල ධීවර වරායේ රැකියාවල නිරතවූවන්ගේ සහ ගාල්ල නගරය ආශ්‍රීත ධීවර ප්‍රජාවගේ පීසීආර් පරීක්ෂණ 892ක් පවත්වන ලදී. ඉන් පළමු අදියරේ දී එක් දිනක් තුළ පරීක්ෂණ 166ක් ද දෙවැනි අදියර වශයෙන් පසුගිය සෙනසුරාදා 726ක් ද වශයෙන් පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි. එම පරික්ෂණ අතරින් ආසාදිත බවට හඳුනාගැණුනේ පුද්ගලයන් 05 දෙනකු පමණි. ඔවුන් 05 දෙනාම පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට ගිය ලොරි රථ සේවකයෝය.

ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය පවසන්නේ පළමුව සිදුකළ පීසීආර් පරීක්ෂණ 166 සිදුකළේ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය හා සම්බන්ධ වූ ලොරි රථ රියදුරන්, ඒ්වායේ සේවකයන්, ව්‍යාපාරිකයන් හා ඔවුන්ගේ සමීපතමයන් බවයි.

දෙවැනි අදියරේ සිදුකරන ලද පරීක්ෂණ ගාල්ල වරාය හා අවට ධීවර ප්‍රජාව වූ අතර ඔවුහු පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය හා සම්බන්ධ වූ අසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් නොවෙති. එම පිරිස අතරින් කිසිවකු ආසාදනය වී නොමැති වීමෙන් පැහැදිලි වන්නේ පෑලියගොඩ පොකුරේ පළමු ආශ්‍රිතයන් හැර ගාල්ලේ අනිකුත් ධීවර ප්‍රජාව වෙත මෙතක් කොරෝනා වයිරසය සංක්‍රමණය වී නොමැති බවයි. එබැවින් මේ වනවිට පළමු අදියරේ වඩාත් සැක සහිත 166 දෙනා අතරින් ආසාදනය නොවූ බවට මෙතෙක් තහවුරු වී ඇති 161 දෙනාටම ස්වයං නිරෝධායනයේ යෙදීමට උපදෙස් දී ඇති බවත් දින 14කට පසු යළි පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

දෙවැනි අදියරේ දී පීසීආර් පරීක්ෂණ සිදුකළ 726ක පිරිස ආසදිත නොවූවන් බව තහවුරු වී ඇති බැවින් ඔවුන්ට සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් තම ධීවර රැකියාවේ යෙදීමට ද අවසර දී තිබේ. මෙම පිරිස දෛනිකව තම රැකියා අවශ්‍යතා සඳහා ධීවර වරායට පැමිණෙන අතර එම පරිශ්‍රයේ දී ද සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳ ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් උපදෙස් ලබා දී ඇත. එමෙන් ම ඔවුන් වරින් වර අධීක්ෂණය කිරීම ද සිදුවෙයි.

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය හා පළමු පෙළ ආශ්‍රිතයන් වූ පිරිස ඉක්මණින් හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට යොමුකිරීමට හැකිවීම හේතුවෙන් ධීවරයන් විශාල පිරිසකට කොරෝනා ආසාදනය වීම වළක්වා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයත් බවත් මේ සඳහා වරාය කළමණාකරු නෙරංජන් දසනායක ඇතුළු පරිපාලනයෙන් සහ ධීවර සමිතිි ඇතුළු ධීවර ප්‍රජාවගෙන් ලැබුණු සහයෝගය පිළිබඳ ස්තූතිවන්ත වන බව ද ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අනිකුත් 3,000ක පමණ පිරිස සඳහා PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීම සඳුදා ආරම්භ කරන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ මේ වනවිටත් මුහුදේ සිටින දිනපතා ගොඩබිමට පැමිණෙන ධීවරයන් පවා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන බවයි.

(සජීව විජේවීර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here