ඕස්ට්‍රේලියාවේ පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් අනවශ්‍ය විදුලි පහන් නිවා දමා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස නිව් සවුත් වේල්ස් නිවැසියන්ගෙන් එරට බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා තිබේ.
ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය පිහිටා ඇති නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මිලියන අටක පමණ ජනගහනයක් වෙසෙයි.
බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් පවසන්නේ සෑම සවසකම පැය දෙකක් විදුලි පහන් නිවා දැමීමෙන් බලශක්තිය ඉතිරි කරගත හැකි අතර විදුලිය විසන්ධිවීම වලක්වා ගතහැකි වනු ඇති බවයි.
ඕස්ට්‍රේලියාව ලොව විශාලතම ගල් අඟුරු සහ ද්‍රව ස්වභාවික වායු අපනයනය කරන රටවලින් එකක් වන නමුත් පසුගිය මාසයේ සිට බලශක්ති අර්බුදයක් සමඟ පොරබදමින් සිටියි. රටේ විදුලිය නිශ්පාදනයෙන් හතරෙන් තුනක් තවමත් සිදු කරන්නේ ගල් අඟුරු යොදාගැනීමෙනි.
මෑත සතිවලදී, ගල් අඟුරු සැපයුම් අඩාල වීම, ගල් අඟුරු බලාගාර කිහිපයක බිඳවැටීම් සහ ගෝලීය බලශක්ති මිල ඉහළ යාමේ බලපෑම ඕස්ට්‍රේලියාවට ද දැනී ඇත.
මෙම වසර මුලදී ගංවතුර හේතුවෙන් නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් හි ගල් අඟුරු පතල් කිහිපයකට බලපෑම් සිදුවූ අතර, තාක්ෂණික ගැටළු හේතුවෙන් නිව් සවුත් වේල්ස් හි වෙළඳපොලේ විශාලතම ගල් අඟුරු සපයන පතල් දෙකක නිෂ්පාදනය නැවතී තිබේ.
නඩත්තු කටයුතු හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු විදුලි ජනන ධාරිතාවයෙන් හතරෙන් එකක් පමණ ක්‍රියාත්මක නොවේ.
යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට පැනවූ සම්බාධක හේතුවෙන් ගෝලීය ගල් අඟුරු සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ සමහර විදුලි නිෂ්පාදකයින්ගේ පිරිවැය ඉහළ ගොස් තිබේ.
මේ අතර, හදිසියේ ඇතිවූ ශීත කාලගුනික තත්ත්වය මධ්‍යයේ බලශක්ති ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර Covid-19 සීමාවන් ලිහිල් කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය විවෘත වී ඇත.
මේ සියල්ල, තොග වෙළඳපොලේ බලශක්ති මිල ඉහල නැංවීමට උපකාරී වී ඇත.
බ්‍රහස්පතින්දා, ඕස්ට්‍රේලියාවේ විශාලතම විදුලි නිෂ්පාදකයා වන AGL Energy පැවසුවේ ඉදිරි දිනවලදී ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ට වැඩි බලයක් සැපයීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මේ අතර, ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනේස් ප්‍රකාශ කළේ බ්‍රහස්පතින්දා ආරම්භ වන ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරුන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවකදී මෙම අර්බුදය මතු කරන බවයි.
සිඩ්නි විශ්ව විද්‍යාලයේ බලශක්ති විශේෂඥවරියක වන ලිනේ චෙස්ටර් පැවසුවේ දශක ගණනාවක් තිස්සේ කල් ඉකුත්වූ ජනක යන්ත්‍රවල අවදානම පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින් දැන සිටි බවයි. ඔවුන් එය නොසකා හැර ඇති බවට ඇය චෝදනා කරයි.