මෙතෙක් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා ආදේශන කර්මාන්ත වෙත යොමුවීමට කර්මාන්තකරුවන්දැඩි උනන්දුවක් දක්වන බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණන පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (15) කටුබැද්දේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
අමාත්‍යවරයා එහි දී මෙසේ ද කීවේය.
“රට මුහුණ පා ඇති අර්බුදකාරී තත්වයත් සමඟ කර්මාන්තකරුවන්ගෙන් වැඩි දෙනෙක් ආනයන සඳහා වූ ආදේශන වෙත යොමුවීමක් පෙනෙන්න තිබෙනවා. මේක ඉතාමත් හොඳ ප්‍රවණතාවක්. ඒ වගේ ම අපනයනය ඉලක්ක කරගත් වැඩි දියුණු කළ භාණ්ඩ නිෂ්පාදනය සඳහාත් වැඩි අවදානයක් යොමු කිරීම මේ වෙලාවේ අවශ්‍ය වෙනාව. ඒ සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වැනි ආයතනවල මැදිහත්වීම අවශ්‍ය වෙනවා. කර්මාන්තකරුවන් මේ සඳහා තාක්ෂණිකව බලාත්මක කිරීමේ දී ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (ජර්මන් ටෙක්), ජාතික ආදුනිකත්ව සහ කාර්මික පුහුණු ආයතනය (නයිටා) වැනි රාජ්‍ය ආයතනවල සහාය ගැනීමට හැකියාව තිබෙනවා. මේ නිසා එම ආයතනවලින් වැඩි වශයෙන් කර්මාන්තකරුවන්ට අවශ්‍ය නව තාක්ෂණය ලබා දීමට කටයුතු කිරීම අවශ්‍යයි. ඒ වගේම මේ ඉඩ ප්‍රස්ථාවන් අපි පුළුල් කළ යුතුයි.”
කාර්මික සංවර්ධන මණ්ඩලය සමඟ සම්බන්ධ වී සිටින කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ මිල දී ගැනීමේ හා විකිණීමේ ක්‍රියාවලිය සඳහා රාජ්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කිරීමට වැඩි අවස්ථාවක් ලබාදීමෙන් වඩාත් ශක්තිමත් කර්මාන්ත ක්ෂේත්‍රයක් ඇතිකළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති සුනිල් ගුණවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියංක රත්නමලල ඇතුළු නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.





