-2.5 C
New York

ඇදහිය නොහැකි ප්‍රහාරයකින් ශ්‍රී ලංකාව අවසන් මොහොතේ ජයග්‍රහණය ලබයි

Published:

අවසන් පන්දුවාර 03 දී ඇදහිය නොහැකි ප්‍රහාරයක් දියත් කළ ශ්‍රී ලංකා නායකයා ඕස්ට්‍රේලියාව සතුව තිබූ පහසු ජයග්‍රහණයක් තනි අතින් උදුරා ගත්තේය.

ඒ අනුව අද (10) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් විස්සයි – 20 තරගයේ කඩුළු 04ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට හිමිවිය.

පළමු තරඟ දෙක ම ජයගත් ඕස්ට්‍රේලියාව තරඟාවලිය ජයගත්ත ද අද පැවැති තරඟය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට කිසිදා අමතක නොවන තරඟයක් වනු ඇත.

කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව කඩුළු 05 ක් දැවී පන්දුවාර 20 අවසානයේ ලකුණු 176ක් රැස්කරගත්තේය.

ඉතාමත් වේගවත් ඉනිමක් ආරම්භ කළ ඕස්ට්‍රේලියානු ඉනිම මුළු ලකුණු සංඛ්‍යාව එක් කඩුල්ලකට ලකුණු 85ක්ව තිබිය දී එක පිට පිට පන්දු තුනක දී දුවද්දී දැවීයාමක් ද සහිතව 85කට කඩුළු 04ක් බවට පත්වුව ද ඕස්ට්‍රේලියානුවෝ ඉනිම අවසන් කළේ ලකුණු 177ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ තබමිනි.

ශ්‍රී ලංකාව ද පිළිතුරු ප්‍රහාරය ආරම්භ කළ ද කඩුළු ඉක්මණින් දැවීයාම හේතුවෙන් යළිත් පරාජය වැළඳ ගන්නා බවක් පෙනෙන්නට තිබිණි. පන්දුවාර 17ක් අවසන්වන විට ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වූයේ කඩුළු 06කට ලකුණු 118ක් ලෙසිනි. ඒ වනවිට ශ්‍රී ලංකාවට තරගය ජයගැනීමට නම් පන්දු 18ක දී ලකුණු 59ක් වැනි අසීරු ඉලක්කයක් ජයගත යුතුව තිබිණි. ඒ වනවිට දසුන් ශානක පන්දු 13කට මුහුණ දී ලබා සිටියේ ලකුණු 06ක් පමණි.

17 වැනි පන්දුවාරයේ සිට සිය ප්‍රහාරය ආරම්භ කළ දසුන් ශානක තරඟයේ අවසන් පන්දුව වයිඩ් පන්දුවක් වී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලැබෙන විට පන්දු 24කින් ලකුණු 58ක් ලබාගෙන සිටියේය.

ඔහු අද තරඟයේ දියත් කළ ප්‍රහාරය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට කළකට අමතක නොවනු ඇත.

Related articles

Recent articles

spot_img