බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරා පත්කිරීමට යන පුවත මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ කතාවකි.
ඔහු පත්කිරීම සම්බන්ධයේන නීතිමය බාධා ඇතැයි ද විවිධ පාර්ශව කරුණු මතුකරයි. නමුත් ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමක දී ධම්මික පෙරේරාට පාර්ලිලමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට හෝ අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැත.
ඔහුට මන්ත්‍රී ධූරයක් දැරීමට හැකියාවක් නැතැයි කියන පාර්ශවයන්ගේ එක් තර්කයක් වන්නේ ජාතික ලැයිස්තුවේ නොසිටි අයකු ජාතික ලැයිස්තුවෙන් පත්කිරීමට හැකියාවක් නැතැයි යන්නයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ලැයිස්තුව පිළිබඳ සඳහන් කොටසේ මුලින් සඳහන් වූයේ මහ මැතිවරණයට පෙර ඒ ඒ දේශපාලන පක්ෂ විසින් තම ජාතික ලැයිස්තුව සකස්කර මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ජාතික පුවත්පත් තුනක හෝ අවම වශයේන ප්‍රසිද්ධියට පත්කළ යුතු බවයි. ඉන් පසු එම ලේඛනයෙන් පමණක් මන්ත්‍රීවරු ලෙස පත්කිරීමට ඒ ඒ පක්ෂවලට අවස්ථාව ලැබෙයි.
නමුත්, 14 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එම වගන්ති ද වෙනස් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයෙන් පසු 99 (අ) වගන්තිය අනුව මහ මැතිවරණයක දී ප්‍රසිද්ධියට පත්කරනු ලබන ජාතික ලැයිස්තුවෙන් පිටත පුද්ගලයකු ඕනෑම වේලාවක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයකට පත්කර යැවීමට දේශපාලන පක්ෂවලට අවකාශ හිමිව ඇත.
ඒ අනුව, ධම්මික පෙරේරාට ජාතික ලැයිස්තුවකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමේ බාධාවක් නැත.
ධම්මික පෙරේරා යනු මෙරට මහා පරිමාන ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙකි. එබැවින් ඔහුගේ ව්‍යාපාර රජය සමඟ ගිවිසුම් ගත වී ඇති බවත් රජය සමඟ ගිවිසුම් ගත වූ ව්‍යාපාරයක් හිමි තැනැත්තකුට මන්ත්‍රීධූරයක් දැරීමට නොහැකි බවත් තවත් පාර්ශවයකින් මතුකරන තර්කයකි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් දැරීමට යම් කිසි කෙනෙකු සුදුසුකම් ලබන ආකාරය සහ නුසුදුසු වන ආකාරය දැක්වෙන්නේ 91 වැනි ව්‍යවස්ථාවේය.
එම ව්‍යවස්ථාවේ (ඉ) වගන්තිය මේ කාරණයට සෘජුව ම අදාළ වෙයි. එහි මෙසේ දැක්වෙයි.
“ රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් නැතහොත් රජය වෙනුවෙන් හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් එළඹ ඇත්තා වූ යම්කිසි ගිවිසුමකට යම්කිසි තැනැත්‍තකුගේ යම් ආකාරයක සම්බන්ධතාවක් තිබීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත්කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ නුසුදුසුකමක් යැයි පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබේ ද, එවැනි ගිවිසුමකට ඒ ආකාරයේ සම්බන්ධතාවක් ඇති තැනැත්තෙක් පාර්ලිලමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත්කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය.”
ඉහත දක්වා ඇති 91 (ඉ) වගන්තිය ප්‍රකාරව ධම්මික පෙරේරා ව්‍යාපාරිකයකු වශයෙන් රජය හෝ රාජ්‍ය සංස්ථාවක් සමඟ ගිවිසුමකට එළැඹ තිබේදැයි අප දන්නේ නැත නමුත් ඔහු එසේ ගිවිසුමකට එළැඹ තිබුණ ද ඔහු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයට නුසුදුස්සකු කළ හැක්කේ පාර්ලිමේන්තුව විසින් ම පමණි. එබැවින් මේ වගන්තිය අනුව ද ධම්මික පෙරේරා ව්‍යාපාරිකයකු වශයෙන් රජය සමඟ හෝ රාජ්‍ය සංස්ථාවක් සමඟ හෝ කවර ආකාරයේ ව්‍යාපාරික ගිවිසුමකට එළැඹ සිටිය ද පාර්ලිමේන්තුව විසින් ම ඔහු මන්ත්‍රීවරයකු වීමට නුසුදුසු යැයි තීරණය කරන තුරු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමිවෙයි.
මේ අනුව පැහැදිළි වන්නේ ඔහුට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට බාධාවක් නොමැති බවයි.